මෙවර ජනාධිපතිවරණ සටන 2010 හෝ 2015 සාපේක්ෂව තවමත් එතරම් උණුසුම් මට්ටමක නොමැති බව බොහෝ දෙනා පවසයි. ජනාධිපතිවරණයේ තීරණනාත්මක බලවේගයන් වන සුලූ ජාතික ඡන්ද, අලූත් ඡන්ද හා පාවෙන ඡුන්දයන් මේ අවස්ථාවේ කුමන තීරණයක් ගනු ඇත්දැයි යන්න 2015 දී මෙන් තවමත් නිශ්චිතව කිව නොහැකි මට්ටමක පවතී.

සුලූ ජාතිකයන් විශේෂයෙන් දමිල හා මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද වැඩි ප‍්‍රථිශතයක් සැමදා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික සංධානය විසින් ලබා ගන්නා අතර, එය 2015 වර්ෂයේ දී ඉතා ඉහල අගයක් ගනු ලැබීය. උතුරු නැගෙනහිර පලාත් තුළින් පමණක් මහින්ද රාජපක්ෂ මහතා ජන්ද 3,23,600ක් ගන්නා විට මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඡන්ද 9,78,111 ක් ලබා ගන්නා ලදී. එය ප‍්‍රථිශතයක් ලෙස ගත් විට 73.5% ක් විය. එම ප‍්‍රතිශතය දකුණු ප‍්‍රදේශයේ දී සිරිසේන මහතා ලැබු පසු බැසීම සමනය කර සමස්ථ ඡන්ද ප‍්‍රථිශතයෙන් 51.28% ලබා ගනිමින් මෛතී‍්‍රපාල සිරිසේනට ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකය බවට පත්වීමට ද හේතු විය.

2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර හැර අනෙකුත් පළාත් තුළින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡුන්ද 54,44,490 (50.45%) ලබා ගත් විට මෛති‍්‍රපාල සිරිසේන මහතාට ලබා ගත හැකි වුයේ ඡන්ද 52,39,051 (48.54%) කි. ඒ අනුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගොඩ ගියේ උතුරු හා නැගෙනහිරින් ලබා ගත් 73.5% ක් වූ ඡන්ද ප‍්‍රථිශතය නිසාවෙනි.

නමුත් මෙවර සජිත් පේ‍්‍රමදාස මහතාට 2015 දී මෙන් ලක්ෂ 9 ඉක්ම වූ ඡන්ද ලබා ගැනීීමට හැකිවේද යන්න ගැටලූවකිි. දැනට ඔහුට ලක්ෂ 5 ඉක්ම වූ ඡුන්දයක් ලබා ගැනීමට හැකියාක් ඇති බව පෙනී ගියත්, එම ප‍්‍රමාණය ලක්ෂ 8ක් හෝ 10ක් කර ගැනීමේ වගකීම ඔහුට මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා අත පවතී.

2015 දී මෙන් දකුණේ විශේෂයෙන් අලූත් ඡන්ද ආකාර්ෂණය කර ගැනීමට ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම මෙතෙක් නොහැකි වී තිබේ. නමුත් දෙදෙනාගෙන් මේ වන විට ගෝඨාභය මහතා සුලූ ප‍්‍රථිශතයකින් ඉදිරියෙන් ඉන්නා බවක් පෙනෙන්නට තිබේ. නමුත් පාවෙන ඡන්ද මේ වන විට විශාල නිහඩත්වයකට පත්ව සිටින අතර, මේ වන විට ඔහුන්ගෙන් සැලකිය යුතු කොටසක් අනුර කුමාර දිසානායක වෙත ආකාර්ෂණය වෙමින් තිබේ.

ඉදිරි මාසය තුළ ජනාධිපතිවරණ ප‍්‍රචාර වැඩසටහනේදී මෙම අලූත් ඡන්ද, සුලූ ජාතික හා පාවෙන ඡන්ද යන ති‍්‍රවිධ පාර්ෂවය වෙත මූලික අවධානය යොමු කළ යුතු අතර, ඉහත ති‍්‍රවිධ පාර්ෂවයේ වැඩි සහාය ලබා ගැනීමට හැකියාව ඇති අපේකෂකයා ජයග‍්‍රහණ කරනු ඇත.

මේ අතර 2015ට වඩා මෙවර සජිත් පේ‍්‍රමදාස මහතාට දකුණේ වැඩි වාසියක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති අතර, ඊට හේතුව වී ඇත්තේ දශක ගණනාවකට පසුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ උන්න්දුව උපරිමයට පැමිණ තිබීමත්, 2015 දී මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි එම්.එච්.එම් ෆවුසි, විජේමුණි සොයිසා, එස්.බී නාවින්න, සජින් වාස්, ලක්ෂමන් සෙනෙවිරත්න අතුලූ මන්තී‍්‍රවරු ගණාවක් සජිත් පේ‍්‍රමාදාස මහතා සමග සම්බන්ධ වී සිටීමත්, කුමාර වෙල්ගම, මහින්ද සමරසිංහ, ඇතුලූ මන්ත්‍රීවරු ගනනාවක් තවමත් නිශ්ෂබ්දව සිටීමත් නිසාය. මේ හේතුව මත දකුණේ සෑහෙන ඡන්ද ප‍්‍රමාණයක වෙනසක් ඇති විය හැක.

මේ අතර, සජිත් පේ‍්‍රමදාස මහතාට අනුර කුමාර දිසානායක සාධකය ඉතා තීරණාත්මක වන අතර, ඔහු සමග සාකච්ඡා කර අවසාන මොහොතේ හෝ එකගත්වයකට පැමිණිය නොහැකි වුවහොත් ඔහු විසින් ලබා ගන්නා ඡන්ද ප‍්‍රමාණය මත ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණය හෝ පරාජය තීරණය වීමට ඉඩ ඇත.

කෙසේ වුවත් ඉදිරි දින කිහිපය තුළ දැනට ඇති ඡන්ද ප‍්‍රමාණය තවත් ලක්ෂ 4කින් පමණ වැඩි කර ගැනීමට හැකිවන පාර්ශවයට ජයග‍්‍රහණය තහවුරු කිරීමට හැකි වන අතර, ඒ සදහා ප‍්‍රභල සටනක් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම විසින් ලබා දිය යුතුය.

Similar Posts