ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා සහ පොලිස්පති රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. ඒකම පක්ෂ නායකයනුත් අද තිබුණ රැස්වීමේදී එක හඬින් කියලා තියෙනවා. දැනගන්න තිබෙන විදිහට තවමත් ‘ජනතාව විසින් පන්නා දැමූ ජනපති’ගේ ඉල්ලා අස්වීම කතානායකට ලැබිලා නෑ. ඒක කවදා ලැබේවිද කියන්න දන්නේ නෑ.
ඒ අතර රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට කියලා තිබෙනවා වැඩබලන ජනාධිපති විදිහට වහාම සුදුසු කෙනෙක් අගමැති විදිහට පත් කරන්න කියලා. අද (13) හවස තිබුණ පක්ෂ නායක රැස්වීමේදී ත්‍රිවිද හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වෙඩි තැබීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා. ඒකට පක්ෂ නායකයන් අවසර ලබාදී නෑ.
දැන් පෙනෙන්න තිබෙන දෙය තමයි පොදුජන පෙරමුන මේ තත්ත්වය කලමණාකරණය කරගැනීම වෙනුවෙන් කිසි දෙයක් නොකරන බව. කිසිඳු මැදිහත්වීමක් නොකර කාලය ගැනීම ඔවුන්ගේ උපාය විය හැකියි. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය දෙක කරගන්නට ඉඩදී බලාසිටින්න යැයි ඔවුන්ට රාජපක්ෂවරුන්ගෙන් උපදෙස් ලැබුණා වියහැකියි.
මේ තිබෙන තත්ත්වය තුළ වෙන්න පුලුවන් ලොකුම දේ තමයි රටේ දේශපාලන නායකත්වයක් නැතිනිසා යැයි කියමින් හමුදාව බලය අතට ගැනීම. මොකද මේ තත්ත්වය තුළ ඔවුන්ට නිවැරැදි අණදීමක් නැත්තන් ඔවුන් විශාල අවිනිශ්චිත තත්ත්වයකට ඇදවැටෙනවා. පාර්ලිමේන්තුව සහ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා තමන් බලය අතට ගන්නවා කියන දේ මේ තත්ත්වය තුළ ඔවුන්ට ඕනෑම වෙලාවක කියන්න පුලුවන්.
ඒනිසා මේ වෙන දේවල් ජනතාව විදිහට අපිට හැම අතින්ම අවාසි සහගතයි. ලෝකයේ නරකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වඩා හමුදා පාලනයක් නරකයි.
ජනාධිපතිවරයා රටේ නැහැ. ඔහු ඉල්ලා අස්වෙන්නෙත් නෑ. එහෙනම් කතානායකට සහ අග්‍රවිනිසුරුට මේ තත්ත්වයට මැදිහත් වෙන්න පුලුවන්ද? ඒක ඉතාමත් වැදගත් මේ අවස්ථාවේ. මටනම් හිතෙන්නේ ව්‍යවස්ථාව අස්සේ ඒකට ඉඩක් තිබෙනවා. ඒත් මේ තත්ත්වය තුළ කතානායක හැසිරෙන්නේ ළඳරුවෙක් වගේ. ඔහු ගිරවෙක් වගේ ජනතාව විසින් පන්නලා දාපු ජනාධිපති එවන නිවේදන සහ අගමැති රනිල් වික්‍රමසිංහ එවන නිවේදන කියවන එක විතරයි කරමින් ඉන්න බව අපිට පේන්නේ. ඔහු මේ වෙලාවේ වැඩිහිටියෙක් වෙලා මේ අර්බුදය සමනය කරගන්න මැදිහත් වෙන්න ඕනී. එහෙම නැත්තං ශක්තිමත් මිනිහෙක්ට වහාම පාර්ලිමේන්තුව රැස්වෙලා මේ තනතුර දෙන්න ඕනී.
මගේ අදහස නම් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ වහාම පාර්ලිමේන්තුව රැස්වෙලා මේක ගැන ඉක්මන් තීරණයක් ගැනීම කළ යුතුයි. පාර්ලිමේන්තුව පැය 24ක් හෝ එකදිගට රැස්වෙලා මේ වෙලාවේ රට වෙනුවෙන් එකමිටට තීන්දු තීරණ ගන්න ඕනී.
දැන් නිර්මානය වෙලා තිබෙන තත්ත්වය සමනය කරන්න නම් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වගේ කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා වහාම ඔහු ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුවේ සියල්ලන්ගේම එකඟතාවයෙන් පත් කළ යුතුයි. තවත් රහස් ඡන්ද තිය තිය මේක කරන්න ගියොත් ජනාධිපති කෙනෙක් පත්කරගන්න කොට රටක් නොතියෙන්න පුලුවන්. මේවා කරන්න මහා කාලයන් අවශ්‍ය නෑ. මේ තියෙන අර්බුදය අස්සේ පැය ගාණක මහංසියකින් මේක කරන්න අමාරු නෑ. අවශ්‍ය හැවෝම එකමිටට එකතුවෙන එක විතරයි.
මේ වෙලාවේ පක්ෂවලින් කෙනෙක් ජනාධිපති විදිහට තෝරන්න ගියොත්, ඒ වෙනුවෙන් රහස් ඡන්ද තියන්න ගියොත්, ඒ හරහා ජනාධිපති වෙන කෙනාත් එපාකියන්න ජනතාව පෙළබෙන්න පුලුවන්. ඒනිසා හොඳම දේ තමයි රටේ හැවෝටම එක ලෙස එකඟ වෙන්න පුලුවන්, පිළිගන්න පුලුවන් සාලිය පීරිස් වගේ කෙනෙක් වහාම ජනාධිපති කිරීම. ඊළඟට පාර්ලිමේන්තුවට පුලුවන් අගමැති කෙනෙක් තෝරගෙන හැම පක්ෂයක්ම නියෝජනය වෙන කැබිනට් එකක් හදන්න.
මේ කිසිදෙයක් අවුරුදු ගණන් ඇදෙන ඒවා නෙවෙයි මාස 06කින් මැතිවරණයකට යන්න බලාගෙන කරන වැඩ වෙන්න ඕනී. ඒක එහෙම වුණාම දේශපාලන පක්ෂවලටත් බය වෙන්න දෙයක් නෑ. ඔවුන්ටත් මාස 06කින් පස්සේ ඕනීනම් තම තමන්ගේ දේශපාලනය ආයෙත් පටන්ගන්න පුලුවන්.
අගමැතිවරයා තෝරනකොට අනුරකුමාර දිසානායක වගේ කෙනෙක්ට අගමැති තනතුර දීම මේ වෙලාවේ කරන්න පුලුවන් තවත් හොඳ දෙයක්. මේ මාස 06 මේ විදිහට කැප කරන්න වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිත හදාගන්න ඕනී. එහෙම නැතුව මේ ප්‍රශ්නය විසඳාගන්න කවුළුවක් මටනම් පේන්නේ නෑ.
මේ අර්බුදය පෙන්වන විශාලම චිත්‍රය තමයි ජනාධිපති ක්‍රමයක් නඩත්තු කරන්න තරම් අපි විශාල මොළයක් තියෙන මිනිස්සු නොවෙයි කියන දේ. ඒනිසා මේ ඇතිවී තිබෙන තත්ත්වය ප්‍රයෝජනයට අරගෙන වහාම ප්‍රථම පියවර විදිහට ඔය පිස්සු ජනාධිපති ධුරය අහෝසිකරලා දාන්න ඕනී. ඒ වැඩේ කරන්නත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වගේ කෙනෙක් හොඳටම ගැලපෙනවා.

-කේ. සංජීව-

aithiya

Similar Posts