sugar

කොරෝනා අස්සේ බඩු මිල ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වුයේ නිරායාසයෙනි. වරෙක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ සීනි සහ සහල් මිල ඉහළ යාම තමන්ටද පාලනය කර ගත නොහැකි බවකි.

වරායේ සිරවු සීනි කන්ටේනර්

සාමාන්‍යයෙන් සීනි නිෂ්පාදනය කළ පසු එහි ආයු කාලය වසර තුනකි. උෂ්ණත්වයේ වෙනස් වීම මත පමණක් එහි කාලය වෙනස් විය හැකිය.

මෙරට බොහෝ සීනි ආනයනකරුවන්ට පහුගිය කාලය පුරාම සීනි බද්ද ශත 25 ට අඩු කර තිබීම නිසා අසීමිතව සීනි ගෙන්වීමේ හැකියාව තිබුණි. මේ නිසා සීනි ගෙන්වු බොහෝ ව්‍යාපාරිකයින් ඒ්වා ගබඩා කර තබා ගත්තා මිස වෙළඳපොලට නිකුත් කිරිමක් සිදු කළේ නැත.

සීනී මිල එක්වරම අධිකව ඉහළ යාම නිසා සීනි හිඟය මතු වෙද්දී කියවුනේ ඉන්දියාවේ සිට  ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ මේ වන විට සිරවී ඇති බවය.  ඉන් කන්ටේනර් 433 ක් ආනයනකරුවන් නවදෙනකු විසින් ආනයනය කරන ලද ඒවා වන අතර සීනි මෙට්‍රික් ටොන් 12000 ක් පමණ එහි අඩංගුව ඇතැයිද කියැවුණි.

මේ අතර තවත් සීනි ආනයනකරුවකු විසින් බලපත්‍ර නොමැතිව ගෙන්වනලද සීනි කන්ටේනර් 130 ක් ද, මාස දෙකක් තිස්සේ කොළඹ වරායේ රඳවාගෙන ඇති බව ද කියැවුණි.

ඒ් සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  රඳවාගෙන තිබෙන සීනි තොගය ලංකා සතොසට ලබාගැනීමට තීරණය කර ඇති බවය.

අප මේ පිලිබඳ කළ සොයා බැලීමකදී හෙළි වුයේ වරායේ මෙලෙස කන්ටේනර් සිර වී ඇත්තේ මෙරට ඩොලර් සංචිත වල ඇති අර්බුදය නිසා බවය. මෙරට බොහෝ ආනයනකරුවන් ගනදෙණු කරන්නේ හ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය හරහාය. සීනි ඇණවුම් කිරිමෙන් පසු ඊට විදේශයට ගෙවිය යුතු ඩොලර් ගෙවීමේ අපහසුතාවය නිසා ආනයනකරුවන්ට මුදල් ගෙවා ගැනීමට නොහැකි වී ඇත. විශේෂයෙන්ම දිනෙන් දිනම ඉහළ යන ඩොලරය ද මෙයට බලපා ඇත.

මේ නිසා දිනෙන් දිනම වරායට පැමිණි සීනි කන්ටේනර් නිදහස් කර ගැනීම ප්‍රමාද වී ඇති අතර ඊට ප්‍රමාද ගාස්තුද එකතු වී ගෙවීමට ඇති මුදල ගොඩගැසුනි.

සීනි තොග පැටව් ගසයි.

ආණ්ඩුවේ මේ ජරමර අස්සේ එක දිගටම දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සඟවා තිබු සීනි තොග මතුවන්නට වූහ. බොහෝ ස්ථාන වැටලීමට තොරතුරු ලබා දී තිබුණේ පෞද්ගලික රූපවාහීනි නාලිකා කිහිපයක් මඟිනි. පාරිභෝගික අධිකාරියද ඔවුන්ට ලැබෙන තොරතුරු ඔස්සේ හඹා ගොස් සඟවා තිබු ගබඩා වටලන්න විය. මෙය සමාජයේ දැඩි කථාබහට ලක් වු කරුණක් විය. පාරිභෝගික අධිකාරිය මේ වැටලීම් කලද මේවා රජයට පවරා ගැනීමේ හැකියාව තිබුණේ නැත.

හදිසි නීතිය

රජය සිදු කළේ වහාම හදිසි නීතිය ගෙන ඒ්මය. ඒ් අනුව වී, සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණි. ඒ්  මේජර් ජෙනරාල් එම්. ඩී.එස්. පී. නිවුන්හැල්ල මහතාවය.

ඒ අනුව, අගෝස්තු 30 දින මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම රෙගුලාසි ප්‍රකාශයට පත් කරන ලදි. මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණි.

ඔහුගේ පත් කිරීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය පත් කෙරුණේ ඔහු යටතටය. ඒ් අනුව දිවයින පුරා වැටලීම් සිදු කරමින් සඟවා තිබු සීනි තොග රජයට පවරා ගැනුණි.  ලියාපදිංචි ගබඩා හා ලියාපදිංචි කර නොතිබුණු ගබඩා රැසක තිබී මේ වන විට පාරිභෝගික අධිකාරිය විසින් පමණක් සීනී මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් මේ වන විට සොයා ගෙන ඇත.

හදිසි නීතිය යටතේ කරන වැටලීම් වලදි කිසිවෙකුටවත් ඒ් සඳහා රජයට එරෙහිව නීති ක්‍රියාමාර් ග  ගැනීමේ හැකියාවක් නැති අතර ඇතැම් විට වී/ සහල්/ සීනි සඟවාගෙන සිටියහොත් ඒ් සමාගම / ගබඩාව පවා රජයට පවරා ගැනීමේ බලතල ඇතැයිද පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.

පාලන මිලක්

මේ අතර සහල් වලට හා සීනි වලට උපරිම මිලක් නියම කිරිම පහුගිය (02) දා මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදන දෙකක්ද නිකුත් කරන ලද්දේ පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසිනි.

ඒ් අනුව සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් වන අතර  පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් වේ.  එමෙන්ම සුදු සීනි කිලෝවක් ආනයනකරු විසින් විකිණිය යුතු උපරිම තොග මිල රුපියල් 116 ක් ලෙස එහි  දක්වා තිබේ.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක් ලෙස ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන අතර  සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 98 කි. . සුදු හා රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් වන අතර කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක්ද මෙමගින් නියම කර තිබේ.

සීනි කිලෝවක් රුපියල් 85 ට ගෙනවිත්?

ආණ්ඩුව මෙලෙස පාලන මිලක් සීනි වලට නියම කර සිටියද සමාජ මාධ්‍ය වලින් කියවුනේ ආනයනකරුවන් මෙරටට සීනි කිලෝවක් රුපියල් 85 ට ගෙනවිත් රජය ජනතාව ගොනාට අන්දවා වැඩි මිලට සීනි අලෙවි කරන බවකි.

වෙළඳපොලේ සීනි අඩු වන විට ව්‍යාපාරිකයින්  ඔවුන්ගේ මිලට සීනි වෙළඳපොලට දැම්මේ යම් ලාභයක් තබා ගනිමිනි. ඊට ඔවුන් හේතු ලෙස පවසා තිබුණේ දිනෙන් දින වෙනස් වන ඩොලර් මිල නිසා ඔවුන්ට සිදු විය හැකි පාඩුව පියවා ගැනීමට බවය.

එනම් නිදසුනක් ලෙස දැන් ඇණවුම් කරන සීනී කන්ටේනර් වලට මොවුන් මුදල් ගෙවන්නේ තවත් මාස තුනක් ඉක්ම ගිය පසුවය. එවිට වෙළඳපොලේ පවතින ඩොලරයේ වටිනාකම අනුව මොවුන් වැඩි හෝ අඩු වශයෙන් මුදල් ගෙවිය යුත්තේය. ඒ් නිසා රුපියල් 85 ට ගෙනා සීනි මොවුන් ඩොලරයේ වෙනස් වීම මත අලෙවි කරන මිල වෙනස් කර තිබේ.

මේ වන විට වැටලීම් කර රජයට පවරාගෙන ඇති සියලුම සීනි තොග මීට මාස ගණනකට පෙර මෙරටට රැගෙන පැමිණි ඒ්වා බව පාරිභෝගික අධිකාරියද තහවුරු කර සිටියි.

රවී කරුණානායකගේ නමත් ඈදෙයි

මේ සීනි තොග සඟවා තිබු ව්‍යාපාරිකයින්ගේ නාම ලේඛනයට රවී කරුණානායකත් සම්බන්ධ වී ඇතැයි කියැවුණු අතර පාරිභෝගික අධිකාරිය එය ප්‍රතික්ෂේප කර සිටියි. ඔවුන් පවසන්නේ පහුගියදා සීදුව ප්‍රදේශයේදි වැටලු ගබඩා දෙක ඔහුට අයිති ඇති නමුත් සීනි ගෙන්වා තිබුණේ ඔහු නොවන බවය. රවී කරුණානායක කර ඇත්තේ ගබඩා කුලියට දීම පමණක් බවද කියා සිටියි.

ආනයනකරුවන්ට රජයෙන් මුදල් දෙයිද?

මේ සීනි තොග රජයට පවරා ගැනීමේදි සීනි කිලෝවකට රුපියල් 116 බැගින් ආනයනකරුට මුදල් ගෙවන බව රජය ප්‍රකාශ කර ඇත. නමුත් ඒ් මුදල් නිශ්චිතවම ලැබෙයිද කියා ඔවුන් දන්නේ නැත. ඔවුන් සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය.

මීට මාස දෙකකට පමණ ඉහතදී ආනයනය කරන ලද සැමන් ටින් රැසකින් පාඩු ලැබු ව්‍යාපාරිකයෙකුද මේ අතර වේ.

කලින් ගත්තු ආහාර වලට තාම ගෙවීම් නැහැ

මීට පෙර කොරෝනා අවස්ථාවකදී රජය සතොස හරහා ජනතාවට රුපියල් 100 ට සැමන් හා රුපියල් 60 ට පරිප්පු අලෙවි කිරීමට පිටකොටුවේ වෙළඳුන්ගෙන් සැමන් හා පරිප්පු ලබා ගෙන ඇත. ඒ් රුපියල් 150 සැමන් ටින් එක රුපියල් 100 බැගිනි. පරිප්පුද එසේමය.

නමුත් මාර්තු සිට මාස ගණනාවක් ගෙවී ගියද තවම ඒ් ව්‍යාපාරිකයින්ට රජයෙන් මුදල් ගෙවා නැති බව පැවසේ. ඔවුන් මේ වන විට කොවිඩ් වලින් මෙන්ම රජයේ ක්‍රියාකලාපය නිසාද දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත.

සීනි ප්‍රතිඅපනයනය

මෙරටට ආනයනය කරන ලද සීනි කිසි දිනෙක ප්‍රතිඅපනයනය වී නොමැත. එසේම ආනයනය කරන ලද සීනි සම්බන්ධ එසේ ප්‍රතිඅපනයනය කිරිමට තරම් වැරදි වාර්තාවක් ලැබි ද නැත.

යම් ආකාරයකින් මෙරටට ගෙන එන ලද සීනි මිනිස් පරිභෝජනයට ගත නොහැකි අයුරින් තෙත් වීමක් හෝ පැහැය වෙනස් වීමක් සිදු වුවහොත් ඒ්වා මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගන්නා බවද පැවසේ.

පාලන මිල අඛණ්ඩව

මේ අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (03) ප්‍රකාශ කර තිබුණේ සහල් සහ සීනී සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවය. එමෙන්ම දැනටමත් සීනි ආනයනකරුවන් ආණ්ඩුවේ මිල යටතේ සීනි ලබාදීමට තීරණය කර ඇති බවකි.

ශානි

Similar Posts