gov

ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි.

යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා එය අඩු මුදලකට භාන්ඩයක් හෝ සේවාවක් සැපයූ පමණින් හෝ වැඩි ස්ථිර රැකියා ප්‍රමාණයක සැපයූ පමණින් ජාතික සම්පත් වශයෙන් හැඳින්විම සුදුසුදැයි සොයාබැලීම මෙම ලිපියේ අරමුණයි.

ප්‍රශ්නගත “සම්පත්” වශයෙන් සැලකෙන ආයතන අයත් ක්ෂෙත්‍ර ලෙස ගමනාගමන, මහාමාර්ග, දුම්රිය, විවිධ කර්මාන්ත, වරාය, ගුවන් තොටුපොළ, විදුලිය, ඉන්ධන සහ බලශක්තිය, ඉඩම් හා වාරි ව්‍යපෘති දැක්විය හැකියි.

පොදුවේ ගත් කල රජයේ ආයතන මඟින් සැපයෙන භාණ්ඩ හෝ සේවාවක විකුනුම් මිල හා එහි නිශ්පාදන වියදම අතර ඇත්තේ විශාල මූල්‍ය පාඩු ගෙනදෙන පරතරයකි. දේශපාලන හේතුමත මෙම ආයතන වල පැවැත්ම සාධාරණීකරනය කර පාඩුපිට පවත්වාගෙන යන්නේ ප්‍රධාන වශයෙන් සුභසාධනය මුවාවෙනි. මෙම ඒකාධිකාර මඟින් සැපයෙන භාණ්ඩ හෝ සේවාවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න කිරීමටද ජනතාවට ඇත්තේ සීමිත ඉඩකඩකි. එසේනම් මෙම අලාභ සහිත තත්ත්වය දිගටම පැවතීමට හේතු මොනවාද?

මේ සඳහා දියහැකි කෙටිම පිළිතුර වන්නේ මෙම ආයතනවල පවතින අකාර්යක්ෂමතාව බවයි.

තරඟයක් නොමැතිවීම හරහා නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා දිරිගැන්වීමක් නොමැතිවීම, අධිකලෙස ප්‍රමාණය ඉක්මවා ගිය සේවක ප්‍රමාණයක් නඩත්තු කිරීමට සිදුවීම, රජයට අයත් නිසා දේශපාලනමය හේතු මත පාඩු සඳහා කිසිවෙකුටත් වගවීමට සිදු නොවීම සහ අදාළ පාඩු මහා භාණඩාගාරය මඟින් ප්‍රතිපූර්ණය කිරීම, සිදුකරන සේවය සහ වැටුප අතර සම්බන්ධය අවම වීම, පාරිභෝගික දුක්ගැනවිලි ගැන සංවේදී නොවීම ආදිය මෙම අකාර්යක්ෂමතාවයට හේතු ලෙස හඳුනාගත හැකියි.

සම්පත් සහ ඒවායේ ආරම්භය

මෙරට රජදවස සිට පැවත එන වාරි නිර්මාණ .
යටත් විජිත පාලනයෙන් ලැබුනු මහාමාර්ග, ගුවන් හා දුම්රිය පද්ධතිය, වාණිජ වැවිලි කර්මාන්තය, අධ්‍යපන, සෞඛ්‍ය හා පරිපාලන ආයතන , වාණිජ ආයතන හා බැංකු.
නිදහසෙන් පසු හිමිවූ අතිරික්තය භාවිතකර ඉදිකළ වාරි ව්‍යාපෘති
1956 න් පසු අත්පත් කරගත් පුද්ගලික දේපල
ආධාර හෝ තෑගි ලෙස සමාජවාදී කඳවුරෙන් ලැබුනු කර්මාන්තශාලා.
නිදහසෙන් පසු ස්ථාපනය කෙරුණු සංස්ථා. මණ්ඩල හා අධිකාරීන්.

සම්පත්වල පැවැත්මට බලපාන දේශපාලන මතවාදය

මෙරට දේශපාලනික චන්ඩමාරුතයකට හසුවු වසරක් ලෙස 1956 සැලකීමට පුලුවන. ඒ මක්නිසාද යත් ඒ වර්ෂයේ දී පැවති මැතිවරණයෙන් පසු ජනසතුකරන වැඩ පිළිවෙළ මඟින් පොදු දේපල ක්‍රමය අත්හදා බැලීම ආරම්භ වීමත් මහජාතිකත්වය පදනම්වූ දේශපාලනයක් ක්‍රියාත්කවීම ආරම්භ වීමත් සනිටුහන් වූ බැවිනි. ආර්ථිකමය වශයෙන් මේ වෙනස්වීම පුද්ගලික ප්‍රාග්ධනය රජය සතුවීමත් හා රජය ව්‍යපාර ක්ෂෙත්‍රයට ප්‍රවිෂ්ඨවීමත් එම ව්‍යපාර සේවා මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමක් ලෙසත් අර්ථ නිරූපනය කළ හැකිය. මෙහිදී සිදුවූ වෙනස්කම් පහත පරිදි දැක්විය හැකියි.

එතෙක් පැවති ආයතනික සංස්කෘතිය බිඳවැටීම සහ අළුත් ආයතනික සංස්කෘතියක් බිහිවීම.
ප්‍රාග්ධන කළමනාකරණය හා මෙහෙයුම් කටයුතු සඳහා අදාළ ආණ්ඩු විසින් රජයේ නිලධාරින් පත්කිරීම.
ඒ හරහා ව්‍යාපාර දේශපාලනීකරණයට ලක්වීම සහ රජයේ ඒකාධිකාර බිහිවීම.
ආනයන බලපත්‍ර, විනිමය පාලනය හා සලාක ක්‍රමය හරහා රජය ආර්ථික කළමනාකරනයට සෘජුලෙස සහභාගී වීම.’
තරඟකාරිත්වය පසෙක දමා ඒකාධිකාරී හා ආරක්ෂනවාදී ප්‍රතිපත්ති හරහා ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගමන් කිරීමට උත්සහ කිරීම.

කෙසේ නමුත් 1977 වනවිට සියලු අංශ වලින් පසුගාමී ආර්ථිකයකට උරුමකම් කීමට මෙරට ජනතාවට සිදුවීමටත් ලෝක තත්ත්වයන් හා තරඟ කළ හැකි භාන්ඩ හෝ සේවා නිපදවීමට නොහැකිවීමත් භූමියේ යථාර්ථය බවට පත්ව තිබිණි.

1977 න් පසු ආර්ථික හා දේශපාලන තත්ව යටතේ සම්පත්වල පැවැත්ම

ආර්ථිකය විවෘත කිරීම හරහා පැමිණි විදේශ ප්‍රාග්ධනය, කළමණාකාරිත්වය, දැනුම හා විදේශ වෙළඳපොළ විවෘතවීම භාවිත කොට ලෝක වෙළඳපොළ හා තරඟකළ හැකි භාන්ඩ නිෂ්පාදනය මඟින් කර්මාන්ත ක්ෂෙත්‍රයේ පිබිදීමක් සිදු වීය. ඒ අතර රජය සතුව තිබූ යම් කර්මාන්තශාලා කීපයක් විදේශ ප්‍රග්ධනයට නතුවූ අතර සමහර කර්මාන්තශාලා වසා දමනු ලැබී ය.’

මේ ක්‍රියාමාර්ග නිසා පුද්ගලික ප්‍රාග්ධන සංකේන්ද්‍රනය යම් තරමකට සිදුවුවත් ආර්ථිකයේ සියලුම තීරණාත්මක අංශ තවමත් පවතින්නේ රාජ්‍ය ප්‍රාග්ධනය යටතේ ය.

සම්පත් මෙහෙයුම් සහ කළමණාකරනය රජය මඟින් සිදුකිරීම

මෙම සම්පත් ජනතාවගේ වුව ද ඒවා පාලනය කරනු ලබන්නේ ජනතාව විසින් පත්කරනු ලබන දේශපාලකයන් විසිනි. දේශපාලකයන් පත්කර එවන්නේ ප්‍රතිපත්ති සකස්කොට ඒ අනුව රට පාලනය කිරීමට වුව ද ඔවුන් එම සිමාවන් අතික්‍රමනය කොට ආයතන කළමනාකරනය සහ මෙහෙයුම් කටයුතුවලට අතපෙවීම මෙම ප්‍රශ්නවලට හේතු වී ඇත.’

මෙතැනදි ප්‍රශ්නය වන්නේ අයිතිකරුවන් වන ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ අවශ්‍යතාවයන් සමපාත නොවීමයි.

කළමනාකරනය සහ මෙහෙයුම් කටයුතු සඳහා තම හිතවතුන් හෝ ඤාතීන් පත්කර ඒ හරහා තම දේශපාලන හා පුද්ගලික අභිමතාර්ථ ඉටුකරගැනීමට උත්සුක වන පසුබිමක ජනතාවගේ අවශ්‍යතාවයන් වන කාර්යක්ෂම සේවයක් හෝ නිෂ්පාදනයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමණි.

එබැවින් මේ දක්වා කළ පරිදි ආණ්ඩු මාරුකිරීම හරහා පමණක් මෙම තත්ත්වය වෙනස් කිරීමට උත්සහ දැරීම නිෂ්ඵල ක්‍රියාවකි. මන්දයත් ජනමතය පවතින්නේ මෙම සම්පත් රජය යටතේ පවත්වාගෙන යෑමට පක්ෂව බැවින් බොහෝ ආණ්ඩුවලට බලය ලබාගැනීම සඳහා මෙම සම්පත් තවදුරටත් රජය යටතේ ආරක්ෂිතව පවත්වාගෙන යෑමට පොරොන්දු වීම අනිවාර්ය බැවිනි. තවද මෙම ක්‍රමය යටතේ නිලධාරි පැවැත්ම සහතික බැවින් ආයතනයේ පැවැත්ම නිලධාරීන් විසින් සාධාරණීකරණය කරන පසුබිමක් නිර්මානය වී ඇත.

වෙනසකට විරුද්ධ වන්නෝ කවුරුන්ද?

ආර්ථිකයේ සියලුම තීරණාත්මක අංශ තවමත් ප්‍රමුඛ ලෙස රාජ්‍ය ප්‍රාග්ධනය යටතේ පවතින තත්ත්වය තුළ හා රජයේ සේවා යෝජකත්වය මුලු ශ්‍රම හමුදාවෙන් 20% පමන වන සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක පැවතීම හා මෙම රාජ්‍ය සේවකයන් පවතින ක්‍රමය ඉදිරියට ගෙනයෑමේ මතවාදය ජනමනස තුළට ගෙනයෑමේ නියමුවන් වශයෙන් ක්‍රියාකිරීමද නිසා මෙම රාජ්‍ය කේන්ද්‍රීය අකාර්යක්ෂම ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අපහසු කරුණක් බවට පත්වී ඇත.

එසේනම් මෙම සම්පත් පලදායී ලෙස පවත්වාගෙන යා නො හැකිද?

එසේ කළ හැකි බවට මෙරට තුලින් ම උදාහරණයක් ලෙස විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සිදුවී ඇති සංවර්ධනය මඟින් පෙන්වාදිය හැකිය. මෙහිදී දැකිය හැකි මූලික වෙනස නම් තරඟයට ඉඩ සලසා දීමයි. මෙම තරඟබිමේ තීරකයා නැතහොත් නියාමනය සිදුකරන්නේ විදුලි සංදේශ නියාමන අධිකාරියයි. එම අංශයේ ප්‍රතිසංවිධානයෙන් පසු එවකට තිබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වසා නොදැමුනු අතර එය සමාගමක් බවට පරිවර්තනය කර එය ජපාන විදුලි සංදේශ සමාගමකට විකුණා දැමිනි. ඉන්පසු එය තරඟබිමෙහි අද දක්වා තරඟකාරී වෙළඳපළ තුළ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යමින් රැඳී සිටීමෙන් ගම්‍ය වන්නේ ප්‍රතිසංවිධානය මඟින් සම්පත් කාර්යක්ෂමව සහ එමඟින් ලාභදායකව කළමනාකරනය කිරීම මඟින් අත්කරගෙන ඇති සාර්ථකත්වය යි.

කීර්ති ගොඩිගමුව

Similar Posts