gov

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී සිටිම නිසා කෝවිඩ් මර්දන එන්නතක් ගැන අපි එ තරම් විශ්වාස නොකළෙමු. ඒ නිසාම අපි එය නිසිකලට ගෙන්වා ගැනීමට ද කටයුතු නොකළෙමු.

නමුත්, බෙල්ලට තොන්ඩුව වැටීමට ආසන්නව සිටි අවස්ථාවේ අප එන්නත්කරණය වෙත තල්ලු වූ අතර, එසේ ප්‍රමාද වී හෝ ආරම්භ කළ මෙම ක්‍රියාවලිය නිසා මේ වන විට අප රටේ ජනග්‍රහණයෙන් අඩකට පමණ ඒනම් මිලියන 11කට පමණ මෙම එනනත් දෙකෙන් එකක් හෝ මේ වන විට ලබා දී තිබේ. වර්ධනය වන මෙම වසංගත තත්ත්වය හමුවේ එය ප්‍රමාද වී හෝ ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

මින් පෙර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල හරහා ඉතා මන්දගාමීව සිදු වූ වැක්සින් කරණය, මේ වන විට රොකට් වේගයෙන් සිදුවෙමින් පවතින්නේ යුධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ මේ වැඩේට අත ගසා ඇති නිසාය. ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන විහාරමහා දේවී උද්‍යානය, දියත උයන වැනි වැක්සින් කිරීමේ මධ්‍යස්ථාන තුළ කිසිදු අපහසුවක් හෝ තදබදයක් හෝ නොමැතිව, ඉතා සුහද හා මිත්‍රශීලීව කාර්‍යක්ෂමව මෙම ක්‍රියාවලිය සිදු කරනු බවන බව දෙරණ ඇතුලු මාධ්‍ය මගින් නිතරම අපට පවසනු ලැබේ.

වැක්සින් ලබා ගැනීමට පැමිණෙන පුද්ලයින්ගේ රසවින්දය සදහා ද හමුදා නිළධාරීන් සහභාගී වන සංගීත ප්‍රසංගයන්ද මේ අතර පැවැත් වේ. මෙම ස්ථානයන්ගෙන් වැක්සින් ලබාගත් මිනිසුන් කියා සිටින්නේ මෙම ක්‍රියාවලිය ඉතා සාර්ථකව හා කාර්‍යක්ෂම සිදුවන බවත්, ත්‍රස්ත්‍රවාදය අවසන් කළ අකාරයට ත්‍රවිධ හමුදාව මේ වසංගතය ද ඉක්මනින් පරාජය කරනු ඇති බවයි.

2019 ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පාර්ශවයන්, විශේෂයෙන් සමහර නායක ස්වාමීන් වහන්සේලා පවා ප්‍රකාශ කළේ මේ රටට දැඩි විනයක් සහිත පාලකයකු අවශ්‍ය බවයි. ඉන් එ ක් හිමි නමක් ප්‍රකාශ කළේ හිට්ලර් පන්නයේ පාලකයෙක් මේ මොහොතේ රටට අවශ්‍ය වී ඇති බවයි.

මේ අතර, පසුගියදා පාතාලේ යැයි පොලීසිය විසින් හැදින් වූ පුද්ගලයින් කිහිප දෙනෙකු තැන තැන ඝාතණය වූ අතර, ඒ සදහා ප්‍රධාන මාධ්‍ය මෙන්ම ජන සමාජයෙන් වැඩි දෙනෙකුගේ කතා බහ තුළින් ප්‍රකාශ වුයේ “මුන්ට එරෙහිව නඩු අහ අහ ඉන්නෙ නැතිව මෙහෙම ඉවරයක් කරල දාන එක හොදයි.., නඩු ගියොත් මුන් ඉන් බේරී තව තවත් අපරාධ සිදු කරනු ඇති බවයි”

මෙසේ ඝාතණය වූ තැනැත්තන් ට අන්වර්ථ නම් කිහිපයක් පටබැදීමත් සහ මිනීමරුම්, ස්ත්‍රී දූෂණ ඇතුලු අපරාධ සම්බන්ධව නඩු කිහිපයක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාගේ කටින් පිටවීමත් සමගම මෙම බොහෝ ඝාතන බහුතර සමාජය විසින් සාධාරණිකරණය කරනු ලැබේ. මෙම ඝාතණයන්ට කිසිවෙකු විරුද්ධ වුවොත්, ඔහු හෝ ඇය දේ ශදෝහීයෙකු ලෙස නම් කිරීමට බොහෝ ඉඩ ඇති අතර, NGO කාරයෙක් හෝ ඩොලර් කාක්කෙක් යන අන්වර්ථ නම් කිහිපයද ඔහුට ලැබීමට නියමිතය.

ඉහත කතා කිහිපය තුළින්ම පෙන්වා දෙන එක් සත්‍යයක් තිබේ. ඒ, අපි අපේ පාලනය සදහා, අපි අපේ ආරක්ෂාව හා පැවැත්ම සදහා ගොඩනගා ඇති රාජ්‍ය ක්‍රමය තුළින් මේ කිසිදු ප්‍රශ්ණයක් නිසියාකාරව විසදුම් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ නිසා බොහෝ අය ඊට ඉතා සරල විසදුම් සොයමින් සිටිති. පසුගිය දශක හත තුළ විවිධ දේශපාලඥයින් මේ සදහා පත් කරනු ලැබූ අතර, දැන් දැන් රාජ ආණ්ඩු හෝ මිලිටරි ආණ්ඩු හෝ හරහා මීට විසදුම් සොයා ගැනීම වෙත තල්ලු වී තිබේ.

රටක් අපරාධ හා දූෂණ මර්ද නය වැනි ඉතා බරපතල සිද්ධීන්ගේ සිට, කොවිඩ් මර්ධන එන්නත පිළිවෙලට ලබාදීම වැනි ඉතා සරළ ක්‍රියාවක් පවා කර ගැනීමට නොහැකි ලෙස අපගේ රාජ්‍ය පද්දතිය කඩා වැටී තිබේ. අති බහුතරයක් මෙහි වැරැද්ද පටවන්නේ මෙතෙක් රට පාලනය කළ දේශපාලඥයින් වෙතය. එහි අර්ධ සත්‍යයක් නැතුවා නොවේ. නමුත්, ඒම දේශපාලකයින් කෙතරම් අසාර්ථක ද බව දැන දැනත් මෙපමණ කාලයක් ඔවුන් බලයට පත්කළේ කවුරුන්ද යන්න සැම විටම ඔවුහු අමතක කරති . වැරැ ද්ද දේශපාලඥයින් පිට පමණක් දමා තමන් නිර්දෝෂී වීමට සියල්ලෝම උත්සාහ කරති. ඒ හේතුව නිසාම මේ ගැඹුරු ප්‍රශ්ණයට විසදුම් සොයා ගැනීම තමන්ගේ වගකීමක් ලෙස කිසිවකු විසින් නොසලකනු ලැබේ.

1948 දී බ්‍රිතාන්‍යයන් විසින් අපට ලබාදී ගිය රාජ්‍යය අද සැලකිය යුතු මට්ටමකින් කඩා වැටී තිබේ. පාර්ලිමේන්තු ක්‍රමයත්, අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් සම්පුර්ණ රාජ්‍ය ව්‍යුහය පාලනය කිරීමේ ක්‍රමයත්, අධිකරණ ක්‍රමයත් මේ වන විට සැලකිය යුතු මට්ටමකින් හානියට පත්වී තිබේ. පාර්ලිමේන්තුව පිළිබදව විශ්වාසය පලුදුවී ඇති අතර, එය අද සුදු අලියෙක් ලෙස වැඩි දෙනෙකු විසින් නම් කරනු ලැබේ. අධිකරණ ක්‍රමයෙන් ද සැලකිය යුතු පිරිසක් මේ වන විට ඉවත් වෙමින් තිබේ. රාජය අංශය තුළින් රාජකාරියක් කර ගැනීමට විවිධ වර්ගයේ අල්ලස් ලබා දීමටත් ඒ සදහා විශාල කාලයක් වැය කිරීමටත් සිදුව තිබේ.

මෙයට විසඳුම් ලෙස පසුගිය දශකයේ අපිට අසන්න ලැබුනේ මහ රජෙක් පත්කාරවා ගැනීම ගැන කතාවයි. ඒ සදහා විශාල ජනමතයක් සමාජය තුළ ඇති කරන ලදී. ගීත රචකයින්, සංගීතඥයින්, ගායකයින්, චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂවරුන් ඇතුලු කළා කරුවන්ද, ඉංජිනේරු, වෛද්‍ය, නීතිඥ, ගුරුවරු ඇතුලු වෘත්තිකයින්ද, මහනායකහිමිවරු ඇතුලු පූජ්‍ය පක්ෂයද විසින් ඊට අවශ්‍ය පසුබිම සකසන ලදී. ඒ අනුව මහරජු පත් වූ අතර, දශකකයට පසුව එම ව්‍යාපෘතිය අහම්බෙන් මෙන් 2015 දී අවසන් විය.

මහ රජු ව්‍යාපෘතියෙන් පසුව දැන් තල්ලු වී ඇත්තේ මිලිටරි රාජ්‍ය පාලනයක් වෙතය. ඒ සදහා සුදුසු නායකයෙක් ඇතුළු රාජ ආණ්ඩුවක් මේ වන විට රටේ තුනෙන් දෙකකට වැඩි ජනතාවක් විසින් පත්කරගෙනද හමාරය.

වැක්සින් ක්‍රියාවලියේ හරහා අපට පෙන්වා දීමට උත්සාහ කරනු ලබන්නේ එවැනි පාලන ක්‍රමයක ඇති සාර්ථකත්වයයි. වැක්සින් ගැසීමට පෙර සිටම විවිධ ගොවිපොලවල් හා ඒවා අලෙවි සැල් පවත්වාගෙන යාමත්, සිල්ලර කඩ, හෝටල්, තරු පන්තියට කිට්ටු හෝටල්, උද්‍යාන පවත්වාගෙන යාම, විවිධ ඉදිරිකිරීම් මෙන්ම, මෑතක දී රථවාහන හැසිරවීම, පාතාල හා මත්ද්‍රව්‍ය මර්ධනය, රාජ්‍ය ව්‍යුහයේ මූලික ස්ථාන සදහා ආරක්ෂක අංශ නිළධාරීන් පත්කිරීම, වර්තමානයේ විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සදහා අවසර ලබා දීම මගින් පෙන්නුම් කරන්නේ දැනටමත් ඉහත සංකල්පය උඩ අප බොහෝ දුර පැමිණ ඇති බවයි.

ලෝකයේ මෙවැනි රාජ්‍ය බිහි වූ රටවල් මුහුණ දෙන දරුණු ව්‍යසනයන් පිළිබදව හෝ මූළු ලෝකයම මෙවැනි රාජ්‍ය ක්‍රමයන් ඇති කිරීම දැඩිව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව කිසිම අවබෝධයක් නොමැති, කිසියම් හෝ දෙයක් සති දෙකකට වඩා වැඩි කාලයක් මතකයේ තබා ගත නොහැකි බහුතර ජන කොටසක් වසන රටක ජීවත්වන අපට මෙවැනි තත්ත්වයක මුහුණ දීම පිළිබදව අපි ගැඹුරින් කල්පනා කළ යුතු අතර මේ සදහා අලුත් කතාබහක් සමාජය තුළ නිර්මාණය කර ගත යුතුව තිබේ.

Similar Posts