rabukkana

2022 අප්‍රේල් 19 වැනි දින රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකිනු ලැබේ.
2022 අප්‍රේල් 19 වැනි දින ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව (Sri Lankan Collective Against Torture – SLCAT) විසින් හෙළාදකිනු ලැබේ. බැටන් පොලුවලින් පහර දීම සහ පලා යන මිනිසුන්ට නැවත නැවතත් ජීව උණ්ඩ භාවිත කරමින් වෙඩි තැබීම ඇතුළු ප්‍රචණ්ඩත්වය භාවිත කළ බවට පොලිස් නිලධාරීන් වෙත චෝදනා එල්ල වේ. මෙම ක්‍රියාවෙන් විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීම ඇතු`ඵ රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව උද්ඝෝෂණ කළ සිවිල් වැසියන්ට සහ අවට සිටි අයට බරපතල තුවාල සිදු කළ බවටද පොලිස් නිලධාරීන් වෙත චෝදනා එල්ල වී ඇත. පොලිසියේ මෙකී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවම වශයෙන් එක් මරණයක් සිදුව ඇති බවට තහවුරුකර ඇති අතර පුරවැසියන් 12කට වැඩි පිරිසක් තුවාල ලබා, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවට වාර්තා ලැබී ඇත.

පොලිස් කෲරත්වය වූ කලී එහි ආයතනික පද්ධතියටම බද්ධව ඇති තත්ත්වයක් වන අතර, එය පුඵල්ව පැතිරී ඇතිසේම රටේ නීතිය හා සාමය පවත්වාගෙනයාමේ සාමාන්‍යකරණය වූ කොටසක් බවටද පත්ව ඇත. මෙම ගැටලුවේ ව්‍යුහාත්මක ස්වභාවය ආමන්ත්‍රණය කරන ලෙසත්, එවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරුවූවන්ට කඩිනමින් සහ අර්ථවත් ලෙස ප්‍රතිචාර දක්වන ලෙසත්, වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් තීරණ ගන්නන්ගෙන් අඛණ්ඩවම ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට වධහිංසාවලින් නිදහස් වීමට ඇති පරම අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගත වීමට ශ්‍රී ලංකාවේ සියලුම නිලධාරීන් සහ පොලිස් ධුරාවලිය ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව බැඳී සිටී (11 වැනි ව්‍යවස්ථාව). තවද, වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් වන ස්වකීය ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීම සඳහා පනවන ලද 1994 වධහිංසාවට එරෙහි සම්මුති පනතට අනුව වධහිංසා පැමිණවීම සාපරාධී වරදකි. එසේම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිසි අධිකරණයක නියෝගයකින් හැර, කිසිදු පුරවැසියෙකුට මරණීය දණ්ඩනය හෝ සිරගත කිරීම සිදු කිරීම තහනම් කරනු ලබයි (13(4) ව්‍යවස්ථාව).

වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ආයතනයන්ට බද්ධ වූ ස්වභාවය සම්බන්ධයෙන් වන ගැටලු ආමන්ත්‍රණය කරන බවට කලින් කලට බලයට පත්වන ආණ්ඩු විසින් ප්‍රතිඥා දුන්නද, ඒ පිළිබඳව පොලිසියේ ක්‍රියාවන්හි කිසිදු සාධනීය වෙනසක් සිදුවී නැති තරම්ය. ප්‍රචණ්ඩත්වය භාවිත කරන අයව වගවීමකට ලක්නොකිරීම මෙයට සෘජුවම හේතුපාදක වන සාධකයක් වේ. නිදසුනක් වශයෙන්, පැවති උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීම උදෙසා සුදුසු ශිල්පීය ක්‍රම සහ ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රම භාවිත කරනවා වෙනුවට, එකී තත්ත්වයට පළමු ප්‍රතිචාරය වශයෙන්ම ජීව උණ්ඩ භාවිතය මෙහිදී පෙනෙන්නට ඇති අතර, එවන් අන්දමේ බරපතල ක්‍රියාවන් පවා “අවම බලය” යෙදවීමක් වශයෙන් බලධාරීන් විසින් අර්ථ ගැන්වීමෙන් පෙන්නුම් කරනු ලබන්නේ කෙතරම් පු`ඵල් අන්දමට ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වී තිබේද යන්නයි. ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව නඩු තිබෙන බවට පොලිසිය විසින් දක්වන ප්‍රතිචාරයෙන් හුවා දැක්වෙන්නේ අපරාධකරුවන් යැයි සැක කෙරෙන පුද්ගලයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීමට සහ සාමාන්‍යකරණය කිරීමට ගන්නා උත්සාහයයි. මේ තත්ත්වයන් සම්බන්ධයෙන් කඩිනම් ආයතනික ප්‍රතිසංස්කරණ පිළිගැනීමට සහ ඒවා සිදු කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය හා කැමැත්ත ප්‍රදර්ශනය කිරීමටද ආණ්ඩු අසමත්වී ඇත.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් පහත සඳහන් පියවරයන් ගන්නා ලෙසට ඉල්ලා සිටී,

(අ) රඹුක්කන සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් වන ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සියලුදෙනා කඩිනමින් වගවීමට ලක්කිරීමට පියවර ගතයුතුය.

(ආ) විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා අදාල විමර්ශනයේ ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත්කළ යුතුය.

(ඇ) වින්දිතයින්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් රජය වහාම සමාව අයැදීම සහ රටේ පුරවැසියන්ට සිදු වූ සෘජු හා පුළුල් හානිය සඳහා වගකීම භාරගැනීම.

(ඈ) වින්දිතයින්ගේ පවුල්වල ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීමට රජය සහ පොලිස්පතිවරයා වහාම ප්‍රතිඥා දෙන ලෙසත්, විශේෂයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටීම හෝ විමර්ශනයට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් පළිගැනීම්වලට ලක්නොකිරීමට රජය හා පොලිස්පතිවරයා සහතික විය යුතු බවත් ඉල්ලා සිටී.

(ඉ) විපතට පත්වූවන්ගේ පවුල් යථා තත්ත්වයට පත්කිරීම සඳහා වන්දි සහ අනෙකුත් සියලු පහසුකම් සැපයීම.

(ඊ) සිවිල් වැසියන්ට එරෙහිව මෙවන් ම්ලේච්ඡ ක්‍රියා සහ/හෝ අසමානුපාතික හා මාරාන්තික බලය යෙදවීම නැවත සිදු නොවීමට වග බලාගැනීමට රජය සහ පොලිස්පතිවරයා පියවර ගැනීම.

Similar Posts