මම බටලන්දේ රනිල් ගැන දන්නේ නෑ කියවලා තියෙනවා විතරයි. හැබැයි 2002-2004 අගමැති රනිල් ගැන මම දන්නවා. ඒකාලේ මගේ පරමාදර්ශී දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ. මංගලලා රිබරල් වෙන්න කළින් රනිල් තමයි ඒක පෙන්නුවේ. මංගල වගේ නෙවෙයි රනිල් ඒක 2002-2004 ප්‍රයෝගිකව පෙන්නුවා. ඒත් චන්ද්‍රිකා ජවිපේ ඒ ආණ්ඩුව මරලා දැම්මා. මම තවමත් විශ්වාස කරන දෙයක් තමයි දෙමළ සංහාරය ඒ ආණ්ඩුව තිබුණනම් නතර වෙනවා කියන දේ. ඒ විතරක් නෙවෙයි ප්‍රබා අද වෙනකොට පාර්ලිමේන්තු ඇවිත් තියෙන්න ඉඩ තිබුණා. කොහොම වුණත් ඒක දැන් ඉතිහාසය.

2005 ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ ඒ හිටපු රනිල් මැරුණා කියන එකයි මගේ මූලික තර්කය. ඒකට හේතුව 2005 පරාජය මිනිහට තේරුන්ගන්න බැරිවීම. ඒ නිසාම මිනිහා කන්ද මුදුනේ ඉඳලා පහළ තැනිතලාවට ඇවිත් මහින්දලා එක්ක දේශපාලනය කරන්න පටන් ගත්තා. 2015 අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙන්නේ මහින්දවාදියෙක් වුණ රනිල් වික්‍රමසිංහ මිසක් අර 2002-2004 හිටපු රනිල් වික්‍රමසිංහ නෙවෙයි. යහපාලන කාලේ රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන හැසිරීම බැලුවොත් ඕනෑම කෙනෙක්ට ඒක තේරුන් ගන්න අමාරු වෙන එකක් නෑ. මහබැංකු බැඳුම්කර සිදුවීම පාස්කු ප්‍රහාරය වගේ දේවල් වුණත් සිද්ධවුණේ මේ අසාර්ථක රාජපක්ෂවාදී ආණ්ඩුකරණය නිසා. මිනිහා හිතුවා මිනිහට කවදාහරි මේ රටේ ජනාධිපති වෙන්නනම් දෙවෙනි මහින්ද වෙන්න ඕනී කියලා.

ජන අරගලය නැඟලා යන මොහොතේ පස්සා පැත්තෙන් ගිහිං අගමැතිකම ගන්නකොට ඒක පිටිපස්සේ තිබුණ එකඟතාවය තමයි ඊළඟ ජනාධිපති බවට පත්කරනවා කියන එකඟතාවය. මම ඒක ඒ වෙලාවේ ලීවා. අද වෙනකොට ඒක සිද්ධවෙලා තියෙනවා.
හෙට වෙනකොට මිනිහා පොහොට්ටු පක්ෂයේ නායකයා වෙන්න නියමිතයි. ඒ රාජපක්ෂවරුන්ගේ අනුහසින්. මම කියන අර රාජපක්ෂ සරණ යාම තමයි ඒකට එකම හේතුව. අද බැසිල් රාජපක්ෂට ඩලස් අලහප්පෙරුමට වඩා රනිල් වික්‍රමසිංහ විශ්වාසයි. අද රාජපක්ෂවාදයේ අවසන් ගැලවුම් පොට රනිල් වික්‍රමසිංහ. මිනිහා 2015දීත් ඒක යම් විදිහකට කළා.

ගෙවල් ගිනි අරගෙන අද පොහොට්ටු පක්ෂයේ බහුතරය ඉන්නේ අබ්බගාතවෙලා. නොන්ඩි ගගහා තමයි ගොඩක් අය තවමත් රාජපක්ෂලාට කඩේ යන්නේ. ඉතිං ඒ මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් රනිල් වික්‍රමසිංහ අරගෙන ඇවිත් තිබෙනවා. අද පොහොට්ටුවෝ සැඟවුණ තැන්වලින් පොඩ්ඩ පොඩ්ඩ ඔලුව එළියට දාලා ඔන්න අරගලයට කෑමක් සෙට් වෙන්නයි යන්නේ කියලා කියනවා. අද රාජපක්ෂ ප්‍රේමීන්ගේ ආදරවන්තයා වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒනිසා 20 වෙනිදා පාර්ලිමේන්තුවේ තියෙන ජනාධිපතිවරයා තේරීමේ ඡන්දය කියන්නේ රාජපක්ෂවරුන්ගේ අවසන් බලාපොරොත්තුව.

රාජපක්ෂලා මේ ඡන්දය හරහා රනිල් කියන පිදුරුගහේ එල්ලෙන්න බලාගෙන ඉන්නවා. ගමේ තවමත් පිපිලා පර නොවුණ පොහොට්ටු රනිල් ජනාධිපති වෙලා මර්දනය ගේනකම් අරගලකාරයන්ට ඇටකටු කුඩුවෙන්න නෙළනකම් සමහර වෙලාවට අරගලකාරයන්ගේ ලේ පාරවල්වල හලනකම් බලාගෙන ඉන්නවා කිරිබත් කන්න..!

ඒනිසා ජූලි 20 ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා කරන්න පුලුවන් සියලු දේවල් අරගලකරුවන් කළ යුතුයි. එතනදී රනිල් වික්‍රමසිංහ ට හොඳටම තරගය දෙන්න පුලුවන් අපේක්ෂකයා කවුරු වුණත් ඒකා මොන යකෙක් උනත් ඔහුට සහාය දිය යුතුයි. ලෝකේ කොහේ වුණත් අරගලයක් බාගෙට කරලා නැවැත්තුවොත් අරගලකාරයන්ට කන්න තමයි වෙන්නේ. ඒක ගැනත් අපි දෙපරක් හිතන්න ඕනී.

කේ සංජීව

Similar Posts