udaya-gammanpila

ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් , වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇත.

රාජ්‍ය ආයතනවල රැස්වීම් , සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත් , ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමා කරන ලෙසත් යෝජනා කර ඇති ගම්මන්පිල මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය ආයතන වලට නියම කරන්නැයිද ඉල්ලීමක් කර ඇත.

ඉන්ධන ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමැතිවරයා විනෝද ගමන් ,නෑදෑයන් හමුවීම්, විනෝද චාරිකා ,ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීම ද ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇති බවද පෙන්වා දී ඇත.

කර්මාන්තවලට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීමට කර්මාන්තකරුවන් දිරිගන්වන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම ද ගෑස් හිඟය හේතුවෙන් භුමිතෙල් ලිප් භාවිතය ඉහළ යාම ද ඉන්ධන භාවිතය ඉහළ යාමට බලපා ඇතැයි ඇමැතිවරයා පෙන්වා දී ඇත.

Similar Posts