jappa

මානුෂීය සහාය ලෙස මේ වසර මුලදී ජපාන රජය පොරොන්දු වූ ආහාර සහනාධාරයෙහි පළමු කොටස එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල හරහා ශ‍්‍රී ලංකාවට ලබා දී ඇත.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ මිලියන 6 කට වැඩි ජනතාවක් එනම් ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසක් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටිති.

මෙම සහනාධාර තොගය, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා වෙත වෙළඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ඊයේ පැවති උත්සවයකදී පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩපිළිවෙලහි ශ‍්‍රී ලංකා නියෝජිත සහ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දීකි මහතා සහභාගී විය.

ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ බෙදා හැරීමට නියමිත මෙම ආහාර සහනාධාරයෙහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වන අතර මෙම පරිත්‍යාගයට සහල්, පරිප්පු සහ තෙල් ඇතුළත් වේ.

එය දිවයින පුරා විසිරී සිටින 15,000ක නාගරික හා ග‍්‍රාමිය ජනතාවගේ සහ පාසල් සිසුන් 380,000 කගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදාගනු ඇත.

මෙහිදී, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා මෙසේ පැවසීය, ”ලෝක ආහාර වැඩපිළිවෙල සතු කඩිනම් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය යටතේ අත්‍යාවශ්‍ය ආහාර සහනාධාර තොගයේ පළමු කොටස ඊයේ දිනයේදී භාරදිමට හැකිවීම අපට ඉමහත් ගෞරවයකි.

දැනට උද්ගත වී ඇති පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය තුළින් ඇතිවී තිබෙන ආහාර හිගය සහ ආහාර මිල ඉහළ යාම මධ්‍යයේ දිවයින පුරා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අවදානමට ලක්විය හැකි පවුල් සහ දරුවන්ට මෙම සහනාධාරය උපකාරී වනු ඇත.

මෙම මානුෂීය ආධාරය, සිය දෛනික පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අපහසුතාවයන්ට ලක්ව සිටින සියලූම ජනතාවට සහන සැලසීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.”

ලෝක ආහාර වැඩපිළිවෙලහි ශ‍්‍රී ලංකා නියෝජිත සහ දේශීය අධ්‍යක්‍ෂ සිද්දීකි මහතා මෙසේ පැවසීය, ”ජපානය අපට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූ මුල්ම රටවල් අතරින් එකකි.

ආහාර සුරක්ෂිතතාවයක් නොමැතිව පීඩා විඳින ප‍්‍රජාවන් සඳහා ජපානයෙන් ලබාදුන් මෙම කාලෝචිත ප‍්‍රධානය වෙනුවන් මම ජපානයේ ජනතාවට ස්තුතිවන්ත වෙමි.

ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය හිඟය සහ අධික මිළ ඉහල යාම් හේතුවෙන් ප‍්‍රමාණවත් හා පෝෂ්‍යදායී ආහාර වේලක් පවත්වා ගැනීමට නොහැකි පීඩා විඳින මිලියන සංඛ්‍යාත ජනතාවගේ ආහාර අනාරක්ෂිතභාවයට පිළියම් යෙදීම සඳහා මෙම පරිත්‍යාගය අපට මහත් රුකුලක් වනු ඇත.”

ලෝක ආහාර වැඩපිළිවෙළ සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් මෑතකදී සිදුකරණ ලද සමීක්‍ෂණ වලට අනුව ශ‍්‍රී ලංකාවේ පවුල් වලින් 60% කට වඩා, ආහාර ප‍්‍රමාණය අඩු කිරීම හා පෝෂණ මට්ටම අඩු ආහාර අනුභවය වැනි ආහාර අනාරක්‍ෂිතභාවය දරාගැනීමේ යාන්ත‍්‍රණ වලින් එකක් හෝ අනුගමනය කරයි.

එය කාන්තාවන් සහ ළමුන් අතර දැනටමත් පවතින මන්දපෝෂණ අනුපාතයන් තවදුරටත් ඉහළයාමට හේතුවක් වනු ඇත.

ලෝක ආහාර වැඩපිළිවෙල ම`ගින් ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පීඩා විඳින මිලියන 3.4 කට ආසන්න ශී‍්‍ර ලාංකිකයින් වෙත ආහාර, මුදල් හෝ වව්චර් පත් වශයෙන් ආධාර ලබා දෙනු ඇත.

ඒ අතරට හදිසි ආහාර ආධාර අවශ්‍ය මිලියන 1.4 කට ආසන්න ශී‍්‍ර ලාංකිකයින් ඇතුළත් වන අතර දැනට පවතින සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා, ළමුන් මිලියනයකට සහ ගර්භනී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් මිලියනයකට සහන සැලසීමට ද, ලෝක ආහාර වැඩපිළිවෙලේ හදිසි ප‍්‍රතිචාර ආධාර සැලසුම් කරයි.

Similar Posts