wakugadu

වසර තිහක පමණ කාලයක සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ භූ ගත ජලය හා භූමිය යම් යම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම හේතුවෙන් අපවිත්‍ර වී ඇති බවත් එය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති බවත් පර් යේෂකයෙකු වන වෛද්‍ය ඇම්.ඒ.කරුණාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ වසර 37ක් තිස්සේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල්වල හා ග්‍රාමීය රෝහල්වල සේවය කරමින් සිටින අතරතුර හමුවූ වකුගඩු රෝගීන් පිළිබදව සිදු කරන ලද දීර් ග කාලීන පර් යේෂණයක ප්‍රතිපලයක් ලෙස “රජරට වකුගඩු රෝගය”පිළිබද ඓතිහාසික,පාරිසරික හා සාමාජීය  සාධක පිළිබද අනාවරණය කරමින් රචනා කළ පර් යේෂණ ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

වෛද්‍ය ඇම්.ඒ.මහින්ද කරුණාරත්න මහතා වෛද්‍ය වෘ ත්තියේ දුෂ්කර කාලය පිලිබද ව ද මීට පෙර අගනා ග්‍රන්ථයක් රචනා කළ අයෙකි.ඔහුගේ නවතම පර් යේෂණ ග්‍රන්ථය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් වෙත පිළිගන්වමින් මෙම අදහස් පළ කළේ ය.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

“මම මුලින් ම 1990 දී පමණ ගල් අමුණ ප්‍රාදේශීය රෝහලේ සේවය කරන කාලේ මුණ ගැහුණු රෝගීන්ගේ රෝග ලක්ෂණවල යම් වෙනස්කම් රාශියක් දැක්කා.කකුල් ඉදිමිලා.මූණ පිටිහලු වෙලා.වෙනත් රෝගී තත්ත්වයන් ට නැති රෝග ලක්ෂණ රාශියක් හදුනා ගන්න පුළුවන් වුණා.ටික කළකින් ම මෙය වකුගඩු අකරණයේ තත්ත්වයක්  විදිහට හදුනා ගත්තා.අනූව දශකයේ මැද වෙනකොට මේ ගැන කතා කරන්න පටන් ගත්තා.

ඒ අනුව හදුනා නොගත් වකුගඩු රෝගය,රජරට වකුගඩු රෝගය කියලා විවිධ අවස්ථාවලදී මේ ගැන හැදින්වීම් කළා.සෞඛ්‍ය අංශ මේ ගැන පර් යේෂණ කළා.විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්‍යවරුන් පර්‍යේෂණ කළා.විශේෂඥයින් මේ ගැන පර්‍යේෂණ කළා.ලංකාවේ පමණක් නොව විදෙස් අයත් පැමිණ පර්‍යේෂණ සිදු කළා.නමුත් වසර 37ක් තිස්සේ මගේ සේවා අත්දැකීම් මට මුණ ගැහුණු රෝගීන් පිළිබදව මම ඒ කාලේ ඉදන් ම විමසිලි මත් වුණා. මට තේරුම් ගියා මේ අයගේ රෝග ලක්ෂණ වෙනස් වෙමින් තියෙන ආකාරය අනිත් ඒවාට වඩා වෙනස් කියලා.

ඒ අනුව මම වසර 15ක් පමණ දීර් ග කාලයක් තිස්සේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  වකුගඩු රෝගීන් ගේ තත්ත්වයන් පිළිබදව පර් යේෂණයක යෙදුනා.එහි දී මම පොලොන්නරුවේ ජනතාවගේ ඓතිහාසික පසුබිම සොයා බැලුවා.ඒ ගැන කළ අධ්‍ය‍යන වලින් පැහැදිලි වුණා ඓතිහාසික පදනමක් මේ රෝගයට නෑ කියලා.රජකාලේ එවැනි රෝගී තත්ත්වයන් තිබිලා නෑ.ඒ විතරක් නෙමෙයි  යටත් විජිත පාළකයින්ගේ පාළන කාලෙයේත් එවැනි සාධක හදුනා ගන්න බෑ.

ඊළගට නව ජනපදකරණය මහවැලි ව්‍යාපාරයත් එක්ක ඇතිවෙච්ච පෙරලියත් එක්ක තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ.ඒකත් වසර 25ක් 30ක් තිස්සේ මේ භූමිය අපවිත්‍ර වී ඇති බව භූගත ජලය අපවිත්‍ර වී ඇති බව පැහැදිලිවෙන කරුණක්.ඒ සදහා යම් යම් කෘෂී රසායනික ද්‍රව්‍ය බලපා ඇති බව පෙනෙනවා.වසර 30ක් පමණ කාලයක් තිස්සේ මේ පොලවට උසුලාගත නොහැකි තරමේ විෂ රසායනික ද්‍රව්‍ය එක්කාසු වෙලා තියෙනවා.ඒ අපවිත්‍ර ජලය හේතුවෙන් මිනිස් සිරුරට ව්කුගඩු රෝගය වැළදීමට බලපෑවා කියන මතය තමයි මම මේ සිදු කළ දිර්ග කාලීන පර් යේෂණයෙන් දැක්කේ.

මේ පර් යේෂණ වාර්තාවේ මා ඉදිරිපත් කර තිබෙන තොරතුරු ප්‍රයෝජනයට අරගෙන මින් ඉදිරියට පර් යේෂණ සිදුකරන විද්වතුන්ට විද්‍යා‍ර් ථීන් ට  අධ්‍ය‍යනයන් කරන්න ඉඩ හරිනවා.බොහෝ විට අපි භාවිත කරපු වසර 30ක පමණ කාලය තුළ එකතු කළ කෘෂි රසායනික මුසු වීම නිසා පස හා භූ ගත ජලය අපවිත්‍ර වීම නිසා මෙම වකුගඩු රෝගය වැලදෙන්න පුළුවන් කියන එක ගැන කිසිම ගැටලුවක් නෑ.මොකද මම මගේ පර්‍යේෂණය ඓතිහාසික සාධක,පාරිසරික සාධක හා සාමාජීය සාධක ඇසුරෙන් තමයි සිදු කළේ. ඇත්තටම රසායනික පොහොර භාවිතය නතර කරන්න බැරිනම් අවම කරලා හරි අපේ ගොවි ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරන්න ඕන.ඔවුන්ගේ සෞඛ්‍ය‍ය ගැන අවධානය යොමු කරනවා නම් ඒක ඉතාම වටිනා දෙයක්.

අපි දන්නවා අද වෙනකොට මේ වකුගඩු රෝගයත් ව්‍යාපාරයක් බවට පත් වෙලා.පානීය ජල බෝතල්,ජල පෙරන ආදී ලෙස විතරක් නෙමෙයි වකුගඩු රෝගයෙන් වැලකෙන්න ආහාර වට්ටෝරු ආදි නොයෙකුත් දේ විකිණෙනවා.ඉස්සර නම් වෛද්‍යවරු සිය සේවාව ඉතාම හොදින් කරගෙන ගියා නමුත් අද වෙනකොට එයත් වෙනස් වෙලා.අද බොහෝ වෛද්‍යවරුන් පවා උත්සාහ කරන්නේ තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන්න.

රෝගීන්ගේ රෝගී තත්ත්වයන් පිළිබදව ගැඹුරින් අධ්‍ය‍යනය කරන්නේ නෑ.ඒ සදහා අවස්ථා ලබාගන්නේ නෑ.මොකද ඔවුනුත් දැන් මේ විකිණෙන, විකුණන ක්‍රමයකට අවතීර් ණ වෙලා ඉන්නේ.ඒක නිසා මම කියන්න තියෙන්නේ අසරණ රෝගීන් සම්බන්ධයෙන් අපේ මැදිහත්වීම තවත් වර් ධනය වෙන්න ඕන.රෝගීන් පරික්ෂා කරනකොට තමයි වෛද්‍යවරයාට රෝගීන්ගේ රෝග ලක්ෂණවල වෙනස් කම් පේන්න ගන්නේ ඒ අනුව ඒගැන දැඩි අවධානය යොමු කරන්න ඕනෑ.”

මෙහි දි අදහස් දක්වමින් පොලොන්නරුව දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කරුණාරත්න ගමගේ මහතා පැවසුවේ වෛද්‍ය මහින්ද යනු වර් තමාන වෛද්‍යවරුන් ට ආදර්ශයක් සපයන සැබැ වෛද්‍යවරයෙකු බවත් වෙදකම නිවැරදිව සිදු කරමින් අහිංසක අසරණ ගොවීන්ගේ දුක්ඛ දෝමනස්සයන් කෙරෙහි දැඩි කැපවීමෙන් අවධානය යොමු කළ අයෙකු බවත් ය.ඇතැම් දුෂ්කර කාලවලදී  වෛද්‍ය වෘ ත්තියට අමතරව රෝගීන් ප්‍රධාන රෝහල්වලට ගෙන යන රියදුරෙකු,සාත්තු සේවකයෙකු,මුරකරුවෙකු,සුවසේවා නිලධාරියෙකු ආදී සියලුම ආකාරයේ සේවාවන් සැපයූ වෛද්‍යවරයෙකු සිටීනම් ද පොලවේ පය ගසා අහිංසක ගැමි ජනතාව වෙනුවෙන් කැපවූ වෛද්‍යවරයෙකු වේනම් ද ඒ මහින්ද කරුණාරත්න බව පැවසීය.

මෙහි දි වෛද්‍යවරයා පැවසුවේ ජනතාව සුවපත් කිරීම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර් යය මණ්ඩල විසින් කළ යුතු බවත්  මාධ්‍යවේදීන් හා මාධ්‍ය‍ය ජනතාවට සත්‍ය‍ය දැනගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ය.මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් කීහිප පලක් ම සහභාගී වූහ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts