ධීවර සංස්ථා නිලධාරින් 07ක්  මින්නේරියේ නිවාඩු නිකේතනයට  හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන්  කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

ඉකුත් (05) දා සවස 4.30 ට පමණ  මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා නිවාඩු නිකේතනයට පැමිණි පුද්ගලයින් 07 කු පිළිබඳව ඉකුත් (06) දා ප්‍රදේශවාසීන් විසින් සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කිරීමෙන් පසු වෛද්‍යවරුන් ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම ස්ථානයට ගොස් පරික්ෂා කොට ඇත.

ඒ අනුව මෙම පුද්ගලයින් මොදර ප්‍රදේශයේ දී ඉකුත් 04 දා  පී.සී.ආර්.පරික්ෂණ සිදු කර ඇතත් නිවෙස්වලට යාම ප්‍රතික්ෂේප කොට ඇති බවත් ධීවර සංස්ථාවේ ඉහළම නිලධාරියෙකුගේ උපදෙස් මත ධීවර සංස්ථාවේ වාහනයකින් ම මින්නේරියට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබේ.

මොවුන්ගේ ජෛව සාම්පල පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු එම පුද්ගලයින් 07 දෙනාගෙන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව ඔවුන් වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ ක්‍රියා කර ඇත.අනෙක් තිදෙනා එම ස්ථානයේම නිරෝධායනයට ලක් කර තිබේ.

මෙසේ මින්නේරිය ධීවර සංස්ථා නිවාඩු නිකේතනයට පැමිණ ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් පුත්තලම,මෝදර,සුදුවැල්ල,පෑළියගොඩ,කෑගල්ල,ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත.

මොවුන් පැමිණියේ කුමන හේතුවක් නිසා දැයි දීර්ග ලෙස විමර්ශන සිදු කළ යුතු බවත් කාගේ හෝ අනුදැනුම මත පොලොන්නරුව දිස්ත්‍රික්කයට කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීමට අනුබල දීමක් සිදුව ඇත්නම් ඒ පිළිබදව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මේ වන විටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොරෝනා වෛරසය ආසාධිතයින් වැඩිම ප්‍රමාණයකට රෝගී සත්කාරක සේවා සිදු කරමින් සිටිය දීත් මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියා සිදු වීම කණගා‍ටුදායක බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව කඩිනමින් පරික්ෂණයක් සිදු කර එවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සිදු වන්නේ නම් ඔවුන් රටට හෙළි කිරීමත් රෝග ව්‍යාප්තිය පාළනයට එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts