e news paper

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය.

නිරෝධායන නීති උල්ලංඝනය කළැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්ට එරෙහිව අකුරැස්ස පොලීසිය පැවරූ නඩුවක සැකකරුවන් නිදොස් කොට නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.

ඉකුත් වසරේ ජූලි මස 08 වැනි දින ඔවුන් ඇතුළු පාක්ෂිකයන් පිරිසක් ජීවන බර ඉහල යාම,ඔන්ලයින් අධ්‍යාපනය පාසල් දරුවන් සැමට සමසේ නොලැබීම හා පොහොර ප්‍රශ්නය මූලික කර ගෙන රජයට එරෙහිව අකුරැස්සේ දී උද්ඝෝෂණය පවත්වා තිබුණේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගය කඩ කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කල බව පවසා අකුරැස්ස පොලීසිය එහිදී සැකකරුවන් 13 දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර පසුව අධිකරණය වෙත ඉදිරිපත් කලේය.

කිහිප විටක් මෙම නඩුව කැදවන ලද අතර ඊයේ (02) තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.

සැකකරුවන්ට එරෙහි චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විත්තියේ සාක්ෂී කැදවීමකින් තොරව සැකකරුවන් පිරිස නිදොස් කොට නිදහස් කරන ලදි.

Similar Posts