ගංගා ද්‍රෝණී සංරක්ෂණය කිරීම නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා ජාතික වැඩසටහන මාර්තු මස 22 දින පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගංගා ද්‍රෝණී එකසියතුනක් තුළ  මධ්‍යම පරිසර අධිකාරිය ඉකුත් වර්ෂයේදී  කරන ලද සමීක්ෂණයක් අනුව සංරක්ෂණය විය යුතු ස්ථාන තුන්සයයකට අධික ප්‍රමාණයක් හදුනා ගෙන තිබේ. ඒ අනුව එම ස්ථාන ආරක්ෂා කර ගැනීම හා මධ්‍යම කදුකරයේ ජල පෝෂක කලාප ආරක්ෂා කර ගැනීම සුරකිමු ගංගා වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව මෙම ස්ථාන සංරක්ෂණය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී.වැලිකන්නගේ මහතා  මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ජන ඝනත්වය අනුව බස්නාහිර පළාතට සාපේක්ෂව මධ්‍යම පළාතේ ජන ඝනත්වය පහළ මට්ටමක පවතින නමුත් ගංගා දූෂණය අනුව මධ්‍යම පළාත සෙසු පළාත්වලට සපේක්ෂව පවතින්නේ ඉදිරියෙන් යැයි ඒ මහතා කීහ.

පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුලු ඝන අපද්‍රව්‍ය ජල මූලාශවලට මුදා හැරීම, අනවසර ඉදිකිරීම් සහ අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගා දූෂණය මේ වන විට මධ්‍යම පළාතේ ඉහළ තත්ත්වයක පවතින බැවින් එය කඩිනමින් පාලනය කිරීම මෙම නව වැඩසටහන තුළින් අපේක්ෂා කරන බව ද ඒ මහතා සදහන් කළේය.

ගංගා ආශ්‍රිතව පැළ රෝපණය කිරීම, ගංගා ඉවුරු සංරක්ෂණය කිරීම, ප්ලාස්ටික්, පොලීතින් හා වෙනත් අපද්‍රව්‍ය ගංගාවට මුසු වීම වැළැක්වීමට හදුනාගත් ස්ථාන සඳහා දැල් ආවරණ යෙදීම ඇතුලු වැඩසටහන් රැසක් මෙම ජාතික වැඩසටහනට සමගාමීව සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් උත්සවය ගන්නෝරුව ගන්නෝරුව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානය අසලදී ද නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය නල්ලතන්නිය සීත ගඟුල අසලදී ද මාතලේ දිස්ත්‍රක් වැඩසටහන සුදුගඟ ආශ්‍රිතව ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ඇතුලු පිරිසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts