mangala

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ, පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තේරී පත් වුණි.

1994 වර්ෂයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ ඒ මහතා, 2015 වසරේ යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේ, මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ කෘතහස්ත දේශපාලඥයෙක් බවයි.

වසර 31 තිස්සේ සක්‍රිය දේශපාලනයේ යෙදෙමින් ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ට ආවේණික දේශපාලනයක් කළ දේශපාලකයකු වූ එතුමාගේ දේශපාලන දර්ශනය මනාව පැහැදිළි වෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

88-89 භිෂණ සමයේ පැවති අසාධාරණයන්ට සහ අවනීතියට එරෙහි වෙමින් සහ 1977-1994 දක්වා පැවති 17 වසරක පීඩාකාරී පාලයට එරෙහිව යුක්තිය සාධාරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ අරගලවලදී මංගල සමරවීර මහතා, ඒ වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ සඳහා කළ මෙහෙවර අගය කරන බවද කීය.

තැපැල්, වරාය, නාගරික සංවර්ධන, ජනමාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් යන ක්ෂේත්‍ර වල අමාත්‍යදූර දැරූ මංගල සමරවීර මහතා, ඒ සෑම විෂයකදී ම නව මානයකින් යුතුව කටයුතු කළ බවත් සංහිඳියාව වෙනුවෙන් කටයුතු දේශපාලක්ඥයෙකු බවද කීය.

සජිත් ප්‍රේමදාස

මොනම අවාසි තත්ත්වයකදී වුවත් තමන් විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් මංගල සමරවීර මහතා පෙනී සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු තනතරු මත යැපුණු චරිතයක් නොවන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ජන සමාජයේ විවිධ තලවල විශ්වාසයක් ඇති කිරීමට සමත් වූ බවද කීය.මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීම, උද්ධමනය අවම කිරීම, අපනයන කේන්ද්‍රීය ආර්ථික රටාව, තොරතුරු තාක්ෂණයට , කෘතිම බුද්ධියට ඉඩ දෙමින් ඒ පිළිබඳ විශ්වාසයකින් කටයුතු කළ බව කීය.

Similar Posts