thalpe

අපේ කාලයේ බුද්ධ පුත්‍රයකු වු අපේ අන්දුගොඩ හේමාලංකාර නායක හිමියේ සත්තකින්ම සසුන් කෙත අස්වද්දන්නට අපේ පිනට උපන් හිමිනමකි.බුදුන්ගේ අඩි පාරේ යමින් තෙරුවන් සුරකිමින් රටට,සමාජයට,ආගම,දහමට සිදු කරන මෙහෙවර සත්තකින්ම අගය කළ යුතුව තිබේ.

ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ කීර්ති ශේෂභාවෝපගත වීමෙන් අනතුරුව 1986 ජුනි 06 දින අන්දුගොඩ පුරාණ මහා විහාරය,අලගොඩ පුරාණ මහා විහාරය,කැළණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමය යන විහාරයන්හි ආධිපත්‍ය උසුලමින් සිටිති.

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා කැප වූ කැළණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමාධිකාරී පුජ්‍යපාද ඇල්ලලගොඩ නන්දරතන හිමියන් වැනි ශිෂ්‍ය පුත්‍රයින් ද තනමින් තම සතර පේරුවේ දායකකාරාදීන්ගේ කුදුමහත් සියලු ආගමික අවශ්‍යතා මැනවින් ඉටු කරමින් ස්වකීය කාර්යභාරය සිදු කරන උන්වහන්සේගේ ශාසනික,ආගමික,සමාජිය මෙහෙවර අගය කළ යුතුව තිබේ.

ඒ නිසා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහා විහාරපාර්ශවයේ මහානායක ධුරන්ධර අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා ස්වාමින්‍ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශද්වාර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් සාසන කීර්ති ශ්‍රී පඤ්ඤාවාස,ගෞරව නාම සම්මුතිය සහිතව තල්පෙ පත්තුව ඇතුලු මාතර හම්බන්තර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

උක්ත පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 2022 සැප්තැම්බර් මස 22 දින මහනුවර රාජපූජිත මල්වතු මහා විහාරයේ දී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

උන්වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය 2022 සැප්තැම්බර් මස 24 දින ප.ව. 2.00 ට ගාල්ල,ඉමදුව,අන්දුගොඩ පුරාණමහා විහාරයේ දී ශ්‍යාවොමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක ධුරන්ධර යක්කල වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා සද්ධම්ම ජෝතිධජ සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්‍ෂිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේ ප්‍රධාන, පළාත්වාසි මහා සංඝ රත්නය සහ දායක දායිකාවනගේ ප්‍රදානත්වයෙන් පැවැත්වේ.

අභිනව නායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය සැලසී යෙහෙන් වැජඹේවා යැයි හදපිරි භක්ති ප්‍රණාමයෙන් ප්‍රාර්ථනා කරමු.

සටහන හා ඡායාරූපය – නිමල් අල්ගෙවත්ත

Similar Posts