පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂක මහතා යාපනය කොටුවේදි පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිනා සෙමින් කථා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ හා මාධ්‍ය වල පළ වුයේ එම පොලිස් නිලධාරින් දෙදෙනාගේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

අද (31) දින මෙකී ඡායාරූපය අරුණ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපය ලෙසද යොදා ගෙන තිබු අතර අන්තර්ජාලයේද මෙම ඡායාරූපය භාවිතා කරමින් මැතිවරණ ප‍්‍රචාරණයක් සිදු වි තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 28 වෙනි දින යාපනයේ පැවති ජන හමුවකට සහභාගි වීමට ගිය අවස්ථාවේ යාපනය සහකාර පොලිස් අධිකාරි එක ඞී.ඞී.ආර්.දසනායක හා යාපනය මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක ප‍්‍රසාද් ප‍්‍රනාන්දු යන නිලධාරින් දෙදෙනා හමුව ආරක්ෂක තත්ත්වය පිලිබද විමසමින් සිටි අවස්ථාවේදි කිසියම් පුද්ගලයෙකු ඔවුන්ගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව මෙය ඡායාරූප ගත කර මෙලෙස මුදා හැර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මීට පෙරද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා වත්මන් යුද හමුදාපතිවරයාගේ හා හිටපු හමුදාපතිවරුන්ගේ ඡායාරූප යොදා ගෙන තිබු අතර එයද සමාජ ආන්දෝලනයට ලක් වූ අතර මැතිවරණ කොමිසමේ සභාපති විසින් ද ඒය වැරදි ක්‍රියාවක් බව ප්‍රකාශකර තිබුනි.

ශානි පොල්ගම්පල

Similar Posts