‘පරපුටුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය’ යන තේමාවෙන් පැවති එම කම්කරු දින රැලියේදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ කතාවේ සාරාංශයක් පහත පළ වේ.

“දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සටන් වැදීමෙන් තොරව ජනතාවට විසඳුම් නෑ කියන කාරණයත් පාර්ලිමේන්තුව තුළ ජනතා අරමුනු නියෝජනය නොවීම සම්බන්ධ කාරණය අපි කියමින් සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ රටේ ජනතාවට ආරාධනා කළේ මේ පාලකයන් මාරුවෙන් මාරුවට ඔලුගෙඩි මාරු කරමින් ජනතාව සූරාඛෑමට ලක්කරන මර්දනය කරන පාලනය කරගෙන යනවා. එය වෙනස් කරන්න, ජනතා අරමුණු ජයගන්න සමාජවාදය වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්න අපි කටයුතු කරමින් සිටියා. ඉතා අමාරුවෙන් අපි ජනප්‍රිය නොවන මේ සමාජවාදය පිළිබඳ අදහස අපි ජන සමාජය තුළ සාකච්ඡාවට ලක් කරමින් සිටිනවා. අමාරුවෙන් රතු කොඩිය ඔසවාගෙන අපි ආවෙ මේ අද වන විට අප මුහුණ දී තිබෙන සමාජයක් අරගලයට කැඳවා ඇති ආකාරයේ සන්ධිස්ථාන පැමිණෙන බවට වැටහීමක් තිබෙන නිසයි.

මේ වනවිට රට පුරා ව්‍යාප්තවන මේ අරගලය පසුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්වද කියලා සමහරු අහනවා. අපි කියනවා කිසිම සැකයක් තියාගන්න එපා, මේ රට පුරා ජනතා අරගලය තුළ සජීවි ලෙස අපි ඉන්නවා. රටපුරා සටන්කරන තරුණයන්, කම්කරුවන්, ගොවි ජනතාව, ස්ත්‍රීන් නියෝජනය කරමින් අපි ඉන්නවා.

මේ අරගලයෙදි විශේෂ දායකත්වයක් සපයන තරුණ කොටස්වල නව සටන් ආකාර තුළින් අපට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. අපි ඔවුන්ගේ අරගලයෙ ආදර්ශයන් වඩා යහපත් සටන් ආකෘති ආදර්ශයට ගන්න කිසිදු අවස්ථාවක පැකිළෙන්නෙ නෑ. ඔවුන් ගෙන යන අරගලයට අපි අපේ ශක්තිය ලබා දෙන්න සූදානම්. මේ රටේ සටන්කාමී අරගල ගණනාවක ඉතිහාස අත්දැකීම් ආදර්ශ ඇතිව අපි මේ අරගලයෙදි ජනතා ජයග්‍රහණ වෙනුවෙන් අපේ වැඩ කොටස ඉටු කරමින් සිටිනවා. ඒ අරගලය ඇත්ත ජනතා ජයග්‍රහණයක් කරා ගෙනයාමේ වගකීම අප උරමත දරා සිටිනවා.

නමුත් අපි දන්නවා මේ ජනතා අරගලයක් සඳහා ජනතාව සූදානම් වූ පමණින් සියලු ජයග්‍රහණ අත්පත් කරගන්න ජනතාවට හැකි වෙන්නෙ නෑ. පාලකයන් ගෙන එන විවිධ නූල් සූත්තර මැද ජයග්‍රහණ අත්පත් කරගන්න නම් ජනතාව විශේෂයෙන් වැඩ කරන ජනතාව තමන් අතට බලය ලබා ගන්න ඕන. පාලකයන් පාලනය කරන, කඩා බිඳ දමන ආර්ථිකය ජනතාව අතට ගන්න සූදානම් විය යුතුයි. ආර්ථිකය මෙහෙයවන, ජවය සපයන වැඩකරන ජනතාව ඒ ආර්ථිකය පාලනය කරන බලය සියතට ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතා බලය වෙනුවෙන් සංවිධානය වෙන්න, ජනතා සභා පිහිටුවන්න, ජනතා බලය සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන්න සූදානම් වන ලෙස අපි මේ රටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා.

සමාජවාදයෙන් මේ අරගල ජයග්‍රහණය කරන්න සූදානම් වන ලෙසත් වඩ වඩාත් ජයග්‍රහණ වෙනුවෙන් සූදානම්වන ලෙසත් අපි මේ රටේ වැඩ කරන ජනතාවට මේ 133 වැනි ජාත්‍යන්තර කම්කරු දිනයේදී යෝජනා කරනවා.”

වැඩකරන ජනතාවගේ බලය පෙන්වන්නට හර්තාලයක් කැඳවමු, සමස්ත මහා වැඩ වර්ජනයකින් පාලකයන් පළවා හරිමු! – දුමින්ද නාගමුව

“අද ජාත්‍යන්තර කම්කරු දිනය වෙත අප එළඹ සිටින්නේ ඉතාමත් ඓතිහාසික වැදගත්කමක් සහිතව. සාමාන්‍යයෙන් කම්කරු දිනය කිව්වම එහි ඓතිහාසික වැදගත්කමක් අපි දකිනවා, ඒ සම්බන්ධ විශේෂත්වය අපි සැමවිටම කම්කරු දිනයේදී අවධාරනය කරනවා. නමුත් මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙත අපි සමාජයක් ලෙසත්, ලෝකය ලෙසත් එළඹීමේ සුවිශේෂත්වයක් තිබෙනවා.

අපේ රටේ ඉතිහාසය පුරාම වැඩකරන ජනතාව ඇතුළු සමස්ත සමාජය බෙදා වෙනු කරපු, ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වෙනත් පටු බෙදුම් රේඛාවලින් කැබලි කරනු ලැබූ සමාජයක් මේ 2022 කම්කරු දිනය දවසේ පොදු අරමුණු ඇතිව සටන් කරන දවසක් බවට පත් වෙලා. ඒක පොදුවේ විශාල ඉදිරි පිම්මක්.

ඒ වගේම ඉතිහාසය පුරාම වැඩකරන ජනතාව බෙදා වෙන් කරපු, එකිනෙකාට එරෙහිව වෙන් කරපු ධනපති පාලක කණ්ඩායම් අද කම්කරු දිනයක් පවත්වා ගෙන යාමට නොහැකි තත්වයට පත් වෙලා. අද මේ කම්කරු දිනය දවසේ පාලක කණ්ඩායම් දෙකටම හරියට කම්කරු දිනයක් පවත්වන්න බැරි වෙලා.
වැඩ කරන ජනතාව අද කම්කරු දිනය සමරන වෙලාවෙ පාලක පොදුජන පෙරමුණ පක්ෂයට අද කම්කරු දිනයක් පවත්වන්න හැකියාවක් නෑ. මේ රට අද පවතින අර්බුදය වෙත කැඳවා ගෙන ගිය රාජපක්ෂ කල්ලියටත් ඔවුන්ගේ අන්තේවාසිකයන්ටත් පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය පළමු තැනට ඇවිත්, බලය අද අහිමි වෙයිද කොයි මොහොතේ පාරට වැටෙයිද කියන මර බියෙන් බලයේ එල්ලිලා ඉන්න විවිධ දහං ගැට දාන, අනෙක් පක්ෂවලට ආයාචනා කරලා බලය රැක ගන්න තතනන තැනට පත් වෙලා.

අනෙක් පැත්තෙන් මේ රටේ මේ විනාශයට වගකිව යුතු එක්සත් ජාතික පක්ෂයත් කම්කරු දිනයක් තියා ගන්න බැරි තැනක ඉන්නෙ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් එක්ක විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස දවස් පහක් තිස්සෙ තෙමි තෙමී පයින් ඇවිදිනවා. මට බලය ලැබෙයිද කියලා හීන දකිමින්, ජනතාවගේ විරෝධතා පාවිච්චි කරලා බලය ලබාගන්නත් ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ගෙඩිය පිටින් කඩාගන්න ඕන නිසා පාරවල් ගානෙ ඇවිදිනවා.

එහෙම තතත්වයක් තුළ අපි අද කම්කරු දිනය පවත්වන්නෙ මේ රටේ වැඩකරන ජනතාවගෙ සාමුහික බලය පාලකයන්ට පෙන්වපු තත්වයක් තුළ. මේ රටේ සියලු වෘත්තිය සමිති, ප්‍රගතිශීලි බලවේග සමග ඒකාබද්ධව කම්කරු පන්තියේ බලය, පාලකයන්ට පෙන්වලා ජයග්‍රාහී තත්වයක් තුළ අපි කම්කරු දිනයට පැමිණියේ. පසුගිය 28 වැනිදා අපි මේ රටේ වැඩකරන ජනතා සංවිධාන රාශියක් සමග ඒකාබද්ධව ඒ බලය සාමුහික බලයක් ලෙස පෙන්වුවා. පාලකයන් දනගස්වන්න වැඩකරන ජනතාව සූදානම් බව සංඥා කළා.

පසුගිය අවුරුදු කීපයක් තිස්සේ කම්කරු දිනය සමරන්න මේ රටේ වැඩකරන ජනතාවට අවශ්‍ය වටපිටාව අහිමි කරනු ලැබුවා. 2018 පාලකයන් කිව්වෙ වෙසක් පෝය නිසා කම්කරු දිනය එපා කියලා. වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරන්න වෙසක් පෝය ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්පස්සෙ 2019 පාස්කු ප්‍රහාර නිසා එපා කිව්වා. නමුත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෝකයේ වැඩ කරන ජනතාවගේ ජාත්‍යන්තරවාදී සහෝදරත්වය සහිතව ඒ කම්කරු දින පැවැත්වුවා. 2020 සහ 2021 වසරවල කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ බාධා මැද අපි කම්කරු දිනය පැවැත්වුවා.

ගෙවුණු වසරවල මෙන්ම මේ වසරෙදි ඇති වූ තත්වයන් නිසා අපි දන්නවා ලෝකයේත් අපේ රටෙදිත් ජීවිකය අනපේක්ෂිත වෙනස්කම්වලට මුහුණ දෙමින් ඉදිරියට යනවා. නමුත් අප අපේක්ෂා කරන, අරමුනු ඉදිරියට ගෙන යාමට මේ සියලු වෙනස්කම් මැද අපි ධෛර්ය සම්පන්නව කටයුතු කළ යුතු වෙනවා. වෙනස්කම් මැද අපේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් පීඩිතයන්ගේ අරමුණු වෙනුවෙන් දේශපාලන තීරණ අපි ගත්තා, අවශ්‍ය සටන්පාඨ ඉදිරිපත් කරමින් සාමුහික ජයග්‍රහන වෙනුවෙන් අපි වැඩ කළා. අපට දී ඇති තත්වය තුළ දුෂ්කර කොන්දේසි මැද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි කටයුතු කළා. ඉදිරියටත් වෙනස්කම්, විවිධ අර්බුද මැද පවා අපගේ මේ රටේ ජනතාව සහ පීඩිත පොදු ජනතාව සමග එක්ව සටන් කරමින් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ජයග්‍රහණ උදාකරගන්න අපි කටයුතු කළ යුතු වෙනවා.

මේ වනවිට අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය හමුවේ මේ රටේ පොදු ජනතාවට, පීඩාත ජනතාවට ඉදිරි දේශපාලන දැක්මක් අවශ්‍ය වී තිබෙනවා. අර්බුදය මැද ඇතිවන දුෂ්කරතා හමුවේ විරෝධතාවලින් පමණක් සියල්ල ගබා ගන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. දේශපාලන අරමුණක් වැඩපිළිවෙළක් සහිතව සටන් කළ යුතු වෙනවා. අන්න ඒ නිසා දේශපාලන දැක්මක් ජනතාව හමුවේ තැබිය යුතුයි, ඒ දැක්ම තුළ වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කරමින් අප ජනතා අරගලය ඉදිරියට ගෙන යා යුතු බව කල්පනා කරනවා.

බොහෝ අය කියන්නෙ මේ අර්බුදය ඩොලර් නැතිකම නිසා ඇති වුණු එකක් කියලා. නමුත් අපි දන්නවා මේක එක වරම පැන නැගුණු අර්බුදයක් නෙවෙයි, දීර්ඝ කාලයක් ඇති වූනු ගැටලු වර්ධනය වෙලා අවසානයේ ඩොලර් හිගය නිසා ප්‍රකාශයට පත් වුණු ආර්ථික ගැටලු සංකීර්ණ වීමෙන් පුපුරා ගිය අර්බුදයක්. මේ අර්බුදයට විසඳුම් හොයන්න පාලකයන් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගිහින් තියෙනවා. ඔවුන් ගෙන එන කොන්දේසි අනුව රජය ඉදිරි පියවර ගන්නට සූදානම් වෙනවා. දැන් මේ මුල්‍ය අරමුදලෙන් පනවන කොන්දේසි දිහා බැලුවම පැහැදිලි වෙනවා, සාමාන්‍ය ජනතාවට, බර පැටවෙන තත්වයක් උදා වෙන්න නියමිතයි. අලුතින් පැටවීමට නියමිත බදු බර නිසාත්, රජයේ වියදම් කැපීම නිසාත්, කම්කරු නීති සංශෝධන නිසාත් මේ ආර්ථික අමාරුකම් ඉහළටම යනවා. වැඩකරන ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට කප්පාදු කිරීම්වලට මූණ දෙන්න වෙන තත්වයක් ඇති වෙනවා. ඒ වුණාට මුල්‍ය අරමුදලෙන් දෙන කොන්දේසි හේතුවෙන් කිසිදු පීඩාවකට මූහුණ නොදෙන, ධනපතියන්ට, දැවැන්ත සමාගම්වලට කිසිදු අවාසියක් වෙන්නෙ නෑ. තවදුරටත ලාභ ගොඩගහන්න ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා.

මේ වනවිට අපේ රටේ ආර්ථිකය වේගයෙන් ගොදුරු කරගනිමින් සිටින ඉන්දියාව මේ අර්බුදය වෙලාවෙ කිට්ටුවට ඇවිත් ණය දෙමින් තවදුරටත් වැඩියෙන් ඉදිරියට ඇවිත් ආර්ථිකය හිරකරගන්න සැලසුම් සහිතව කටයුතු කරමින් ඉන්වා. මේ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙන්ම ඉන්දියාව වැනි බලවත් රාජ්‍යයන්ගෙ බලපෑම් මැද ඉදිරි කාලයෙදි අපේ ආර්ථිකය වඩාත් දුෂ්කරතා ඇතිකරන සාමාන්‍ය ජනතාවට පීඩා ඇතිකරන අර්බුද කාලයක් බවට පත්වන්න නියමිතයි.
විශේෂයෙන්ම අර්බුදයේ ඉදිරි කාලය තුළ ආහාර අර්බුදයකට මුහුණ දෙන්න සිදුවන බව ස්ථිරයි.

ආණ්ඩුවේ මු්ධ තීරණ නිසා වී අස්වැන්න අඩු වීම හේතුවෙන් හාල් කිලෝවක මිල තවත් ඉහළ යාමටත් ඒ හේතුව නිසාම එළවලු ඇතුළු ආහාර ද්‍රව්‍ය සියල්ලගේම මිල ඉහළ යන්නත් කියමිතයි. පහුගිය කාලෙ රුපියල් 3500ට තිබුණු යුරියා මල්ලක් දැන් රුපියල් 37,500ක් වෙලා. ආණ්ඩුවේ කඩිකුලප්පු කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා වී අස්වනු 80%කින් පහත වැටී තිබෙනවා. ඉදිරියේදි මෙම පොහොර ගැටලුව විසඳන්න ඉක්මන් හැකියාවක් නැති බව පැහැදිලියි. ඒ අනුව සමස්තයක් ලෙස ආහාර නිෂ්පාදනය 50%කින් ඇද වැටීමට නියමිතයි.

මෙම තත්වයට මුහුණ දීමට පීඩිත ජනතාවට කිසිදු හව්හරණක් නැති තත්වයක් නැති වෙනවා. යම් හෝ ස්ථිර ආදායමක් ඇති රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවීමක් නැතිව මෙම තත්වයට මුහුණ දෙනනට හැකිවන්නේ නෑ. පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම් ඉල්ලා සිටීමට සිදු වෙනවා. පෞද්ගලික අංශයේ සුලු පරිමාණ නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලු නිසා ඉදිරියේදී විරැකියා තත්වයන් ඇතිවීමට නියමිතයි. මේ තත්වය තුළ රැකියා විරහිතයන්ගේ අරගලයක් ඇතිවීමට නියමිතයි. විශේෂයෙන්ම ආහාර හිගය නිසා සාගිනි කැරලි ඇතිවීමේ තත්වයක් ගැන අනතුරු ඇඟවීම් තිබෙනවා.

මේ සියල්ල මැද ධනපතියන්ට බදු සහන ලබා දුන් පාලකයන් විසින් ජනතාව අද පවතින විනාශයට ජීවන දුෂ්කරතාවලට ඇද දමා තිබෙනවා. නමුත් අපි දන්නවා 2021 වසර තුළ පමණක් මේ රටේ ධනපති සමාගම් ඉතිහාසයේ වාර්තාගත ලාභ ලබා තිබෙනවා. කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම්වල වාර්තා අනුව ගත්තත් ඉහළම ලාභ වාර්තාගත වෙලා තිබෙනවා.

ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකය පුරාම ධනවාදය මේ ආකාරයෙන් ජනතාව පීඩාවට පත්කරමින් තිබෙනවා. ආසියාව, අප්‍රිකාව, ලතින් අමෙරිකාව විතරක් නෙවෙයි, යුරෝපයේ අමෙරිකාවෙ පහළම ආදායම් ලබන බහුතර ජනතාවට මූනදෙන්න වෙන පීඩාව නිසා ඔවුන් වඩා වේගයෙන් දේශපාලන අරගල වෙත යොමු වෙමින් තිබෙනවා. මේ වනවිට ස්පාඤ්ඥයේ ජනතාව විදුලි ගාස්තු දෙගුණ කිරීමට එරෙහිව අරගල කරමින් සිටිනවා. මේ වනවිට ට්‍රක්රථ රියදුරන්ගේ දැවැන්ත වැඩ වර්ජනයක් සිදු වෙමින් තිබෙනවා.
ඊජිප්තුවේ ආහාර මිල ඉහළ යාම නිසා ජනතා විරෝධතා ඇතිව තිබෙනවා. ඉරාකයේ සාගිනි කැරලි ඇතිව තිබෙනවා. සුඩානයේ ගුරුවරු අරගලයක යෙදී සිටිනවා. තරුණයන් අරගලයක නිරතවී සිටිනවා. කොංගෝවේ තෙල් මිල පාලනය කිරීමට නොහැකිවීම නිසා ජනතා විරෝධතා මධ්‍යයේ ඇමති මණ්ඩල සංශෝධනයකට යාමට සිදුව තිබෙනවා. ඇල්බේනියාව තුළ විදුලි මිල ඉහළ දැමීමට එරෙහි අරගල දක්නට ලැනෙවා.

ලෝකය පුරාම මේ ආකාරයේ අරගල හා මහජන විරෝධතා පැන නැගීමේ තේරුම ධනවාදය විසින් විසඳුම් නොමැති අර්බුදයක් කරා ඇද වැටී තිබීමයි. ඒ නිසා අපි අද ජාත්‍යන්තර කම්කරු දිනය පවත්වන්නෙ ධනවාදයේ මර ලතෝනිය මැද කියන එක පැහැදිලියි. ධනවාදී පාලනයේ ප්‍රතිපත්ති හා විවිධ තීරණ නිසා ගොවීන්, ධීවරයන්, කම්කරුවන් ඇතුළු පීඩිත ජනතාව ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. ඇතිව තිබෙන ආර්ථිකය අර්බුදය නිසා සමස්ත ජනතාවම පත්ව තිබෙනවා. ස්ත්‍රීන් පීඩාවට පත්ව තිබෙනවා. පාලකයන්ගෙ වංචා දූෂණ නිසා ගැටලු රාශියක් ඇතිව තිබෙනවා. පීඩිත ජන ප්‍රජාවන්ගේ ගැටලුවලට විසඳුම් නැති නිසා පොදු ජීවන දූෂ්කරතාවලට අමතරව ඔවුන් අතර පීඩාව වර්ධනය වෙලා තිබෙනවා.

අද මේ රට පුරා පැන නැගී ඇති ජන අරගලය තුළ විශේෂතා ගණනාවක් අපි දකිනවා. අපි දන්නවා 1978 ආරම්භ කරපු විවෘත ආර්ථික ක්‍රමය එහෙම නැත්නම් නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා යම් ආකාරයකින් ඉදිරියට ආව වැටුප් ශ්‍රමිකයන් ලෙස වුවත් යම් සමාජ මට්ටමකට පත් වූ මැදපන්තියක් අපේ රටේ තිබෙනවා. දක්ෂිණාංශික දේශපාලන පක්ෂ විසින් ජාතිවාදය පාවිච්චි කරමින් ඔවුන් කිසියම් දේශපාලන රැවටීමකට ඇද දමනු ලැබුවා. දේශපාලන මත පොම්ප කරමින් පොදු සමාජ අරමුණු වලින් විතැන් කරමින් බලය වෙනුවෙන් මැද පන්තියේ ඡන්ද කොල්ල කනු ලැබුවා. ඒ වගේම වෙළඳපොළ ආර්ථිකය තුළ යම්කිසි පරිභෝජනවාදී සංස්කෘතියකට කොටු කරපු ජනසමාජය තුළ මේ මැද පන්තියේ පැවැත්ම ආරක්ෂා වුණා. නමුත් පොදුවෙ සමාජයක් ඇද දමා ඇති අර්බුදය තුළ ඔවුන්ට පවා අද සටන් කිරීමට පාරට බහින් සිදුව තිබෙනවා. අද රටපුරා ඇවිල යන ජනතා අරගලවලට මෙතෙක් සම්බන්ධ නොවූ මැදපන්තියේ ජනයා සහභාගි වෙමින් තිබෙනවා. නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ මේ රටේ ආර්ථිකය ඇද දැමූ විනාශය නිසා ජනතාවට අද පොදු අරමුණු වෙනුවෙන් පාරට බහින්න සිදුව තිබෙනවා. මෙතෙක් පාරට බැස සටන් වැදුණු පීඩිත ජනතාවගේ කරට අත දමාගෙන සටන් වැදීමට සෙසු ජන කොටස්වලට සිදුව තිබෙනවා.
මේ සමාජය මුහුණ දී තිබෙන අර්බුදයට, මේ ජීවන ගැටලුවලට විසඳුම් සොයන්න කල්පනා කිරීමට සැමදෙනාටම බලකර තිබෙනවා.

නිර්ධන පන්තියේ පැත්තෙන් පසුගිය කාලයේ පොදුවේ තිබුණු අදහස තමයි, ඡන්දයෙන් මේ රටේ දේශපාලන බලය තීරණය වනවා කියන අදහස. නමුත් දැන් අප මුහුණ දෙමින් තිබෙන තත්වය තුළ නිර්ධනයන්ට, වැඩ කරන ජනතාවට විසඳුම් සෙවීම සඳහා රාජ්‍ය බලය ලබාගැනීම අවශ්‍ය බව තහවුරු කර තිබෙනවා. ඒ වගේම පාලකයන් රට ඇද දමා තිබෙන විනාශය තුළ පාලකයන් පෙන්වා ඇති නොහැකියාව, දුර්වලකම තුළ මේ ගැටලු විසඳන්න, මේ රට පාලනය කරන්න තමන්ට පුලුවන් කියන විශ්වාසය නිර්ධන පන්තිය තුළ තහවුරු කර තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකයට විදේශ විනිමය ගෙන දෙන ප්‍රධාන බලවේග වන්නේ වතු කම්කරු ජනතාව, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවෙ සහ මැද පෙරදිග සේවය කරන ජනතාව බව අප අමතක කළ යුතු නෑ. ඒ නිසා මේ රටේ ආර්ථිකයට ජවය, ශක්තිය එකතු කරන්නෙ වැඩකරන ජනතාව බව තහවුරු කරන්න තවත් සාධක අවශ්‍ය නෑ. රටක ආර්ථිකය දුවවන්නෙ වැඩකරන පොදු ජනතාව බව අප කිව්වට අද දවසේ පාලකයන් ආර්ථිකය ඇද දමා තිබෙන තත්වය තුළ ඒ බව වඩා හොඳින් තහවුරු කරමින් තිබෙනවා.

මේ තත්වය තුළ අද මේ රටේ ජනතා අරගලයට තරුණ අරගලකරුවන් වැඩි ජවයක් වැඩි ශක්තියක් ගෙන දෙමින් සටන් වදින තත්වයක් දක්නට ලැබෙනවා. මේ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු බව විශ්වාස කරන ජනතාව වෙනුවෙන් තරුණ ප්‍රජාවට කියන්න දෙයක් අපට තිබෙනවා. ඔව් අපි මේ තීරණාත්මක අරගලය ජයග්‍රහණයක් දක්වා ගෙන යායුතුයි. අප මේ විඳින පීඩාකාරි ජීවිතය වෙනස් කරගැනීමට, මේ සමාජ ආර්ථික අර්බුදය අවසන් වශයෙන් පරාජය කරමින් ජනතාවගේ අරමුණු ජයග්‍රහණය කිරීමට නම් මේ රටේ සටන් කරන තරුණ ප්‍රජාව විසින් ආදරණීය කාල් මාක්ස් අපේ ගුරුවරයාගේ සහ ලෙනින් සහෝදරයාගේ කෘති වැඩි වැඩියෙන් අධ්‍යයනය කළ යුතු බව අපි යෝජනා කරනවා. ජනතා අරගල ජයග්‍රහණය කරා ගෙන යාමේ මග පෙන්වීම ලබා ගැනීමට, අද අප මුහුණ දෙන අභියෝග ජයග්‍රහණය කරන්න ඒ අධ්‍යයනයන් අත්‍යවශ්‍ය වෙනවා.

දැන් අපි මේ අර්බුදයෙන් විසඳුම් කරා යාමට ජනතාවට යෝජනා කරන කරුණු සම්බන්ධ අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් මුලු මහත් ජනසමාජයම ඉල්ලා සිටින ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව ගෙදර යා යුතුයි. මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප පාලක පන්තිය තවදුරටත් බලයේ තබා ගන්න ජනතාව සූදානම් නෑ. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි. අවශ්‍ය වෙන්නෙ ජනමත විචාරණයක් නම් ඒකට යා යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවගේ මුදල්, රාජ්‍ය දේපළ කොල්ල කෑව, විදේශ රටවල ධනය ඒකරාශි කරපු වංචනික ගනුදෙනු වහා අනාවරණය කරන්නට කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ ජීවන දුෂ්කරතා සඳහා වහාම සහන ලබා දිය යුතුයි. පාලකයන් විසින් හොරකම් කරපු අරමුදල් ඒ සඳහා යෙදවිය යුතුයි.

අපි දන්නවා මේ සමාජය ඉදිරියේදී මුහුණදීමට නියමිත දැවැන්ත ආහාර අර්බුදය සඳහා මුහුණ දීමටත්, ඉහත අරමුනු ජයග්‍රහණය කිරීමටත් මේ පාලකයන් කෙරෙහි විශ්වාසය තබන්න අපට හැකියාවක් නෑ. ඒ වෙනුවෙන් ජනතා බලය තවදුරටත් ඉදිරියට ගෙන යායුතුයි, ජනබලය සංවිධානාත්මකව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් අපි යෝජනා කරන ජන සභා පිහිටුවිය යුතුයි. ජනතා අරමුණු ජයග්‍රහණය කිරීමටත් ඉදිරියේ අප මුහුණදීමට නියමිත අභියෝගයන්ට මුහුණදීමටත් ජනතා බලය සංවිධානය කිරීම සඳහා මහජන කමිටු පිහිටුවීමට අපි යෝජනා කරනවා. ඒ මහජන කමිටු තුළින් සංවිධානය වෙමින් සටන් කරන ලෙසත්, පාලකයන්ගේ ව්‍යාජ විසඳුම්, ඔලුගෙඩි මාරු කිරීම් වෙනුවට ඇත්ත විසඳුම් දිනාගැනීමට සටන් කරන ලෙසත් අපි සහෝදර ජනතාවට යෝජනා කරනවා.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ රටේ ජනතා ජයග්‍රහණ ලබාදීමේ අවස්ථා ගණනාවකදී අපේ කොටස ඉහළින්ම ඉටුකර ඇති බව මේ වෙලාවෙ සටහන් කළ යුතුයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කොටුව දුම්රිය පොළ ඉදිරියේ ගෙන ගිය අඛන්ඩ විරෝධතාව වෙලාවෙ ඇතැම් අය උපහාසයෙන් අපෙන් ඇහුවෙ පාරෙ වාඩි වෙලා ඉඳලා අයිතිවාසිකම් දිනාගන්න පුලුවන්ද කියලා. නමුත් අපි වාඩිවෙලා බලාගෙන හිටියෙ නෑ. සටන් කිරීමේ නව ආකාරයන් හඳුන්වා දෙමින් මේ රටේ ප්‍රගතිශීලි බලවේග සමග ඒ අරගලය ජයග්‍රහණය දක්වා ගෙන ගියා. සියලු සාමුහික ජනතා අරගලවලදි අපේ කොටස ඉටු කරන්න සමත් ජයග්‍රාහී සටන් ආදර්ශ අපේ ඉතිහාසයට එකතු කර තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය සමග අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කරගැනීමේ අරගලයෙදි අපි කිසිදු දෙගිඩියාවකින් තොරව දායක වී තිබනවා. ඇතැම් පක්ෂ රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලික අධ්‍යාපනය කියලා පැති බෙදලා එහෙට මෙහෙට වැනෙන කොට අපි හරියටම ජනතාවගේ පැත්තේ සිට නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සයිටම් අරගලයේ ප්‍රධාන වැඩ කොටසක් අපි ඉටු කළා. අපි දන්නවා, විවිධ පාර්ශ්ව ගණනාවක් එහිදී පංගුකාරයන් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට සහයෝගය ලබා දී ඒ සටන ජයග්‍රහණය දක්වා ගෙනගියා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ අරගලයෙදි ඒ සාමුහික බලය වෙනුවෙන් දායක වුණා. කොතලාවල පනත ගෙනාව අවස්ථාවෙදි ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය අරගලයට සම්බන්ධ වෙමින් අපේ දායකත්වය ලබා දුන්නා, සාමුහික අරගලයක යෙදී සිරගතවීම්වලට මුහුණ දුන්නා. අවසානයේ අපව බලහත්කාරයෙන් නිරෝධායනයට යැව්වත් නිදහස් කරන්න ආණ්ඩුවට සිදු වුණා. කොතලාවල පනත අකුලාගන්න ආණ්ඩුවට සිදු වුණේ පාර්ශ්ව ගණනාවක්, විශේෂයෙන් වෘත්තිය සමිති ව්‍යාපාරය සමග ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය අරගලයේ ජයග්‍රහණයක් ලෙසයි.

ඊළඟට වසංගතය කියලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, විරුද්ධ මත දැක්වීමේ අයිතිය කප්පාදු කළ අවස්ථාවෙදි අපි ඒ බලහත්කාරය බිඳ දමමින් සටන් කළා. අපිට සිදු වුණා මර්දනයට මුහුණ දෙන්න. නමුත් ඒ වෙලාවෙ අපි පක්ෂයක් ලෙස තනිව සටනක් ගෙන ගිය නිසා ආණ්ඩුවට වසංගතය මුවාවෙන් මේ රටේ අයිතිවාසිකම් කප්පාදු කිරීම් අකුාලගන්න සිදු වුණා. වෙනත් පාර්ශ්ව වලටත් සටන් කිරීමේ අවශ්‍යතාව, ආණ්ඩුවේ බලහත්කාරයට අභියෝග කිරීමේ ආදර්ශය අපි ලබාදුන්නා. ඒ නිසා අපි ජනතාව රටපුරා වීදි බැස සටන් කරන වෙලාවක අපේ සටන්කාමී අත්දැකීම් වගේම ආදර්ශය ඉදිරියට ගෙනත් මේ රටේ ජනතාව ඉල්ලා සිටින ජයග්‍රහණ වෙනුවෙන් කැපවන දේශපාලන පක්ෂයක්. පාලකයන්ට එරෙහි අරගලය තුළ සියලු ජනතා බලවේගවලට සටන් කර ජයග්‍රහණය කිරීම සඳහා සංවිධානාත්මකව ඒකරාශිවන ලෙස අපි මේ කම්කරු දිනයෙදි ඉල්ලා සිටින්නෙ අන්න ඒ අත්දැකීම් හා ආදර්ශය ඇතිවයි.

මේ ජනතා අරගලය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් මේ වනවිට මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය තීරණය කර තිබෙනවා. පසුගිය 28 වැනිදා පාලක පන්තිය කර කියාගන්න දෙයක් නැති තත්වයට ඇද දැමූ එක්දින වැඩ වර්ජනයක් කැඳවා මේ රටේ වැඩකරන ජනතාවගේ සාමුහික බලය ඒකරාශි කළා. අපි ඒ අරගලයේ කොටස්කරුවන් ලෙස වැඩකරන ජනතාවගේ සටන්කාමී බලය හා අධිෂ්ඨානය නියෝජනය කළා. පළමු ප්‍රහාරය අපි එදා පාලකයන් වෙත එල්ල කළා. ඒ වගේම සමස්ත මහා වැඩ වර්ජනයක් වෙත යමින් මේ දුෂ්ට පාලකයන් පළවා හරින්න අපි මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් හා වතු කම්කරුවන් සමග එකතු වෙන්න සූදානම්.
ඒ සඳහා සූදානම්වන ලෙස මේ රටේ වැඩ කරන ජනතාවට මේ ජාත්‍යන්තර කම්කරු දිනයේ අපි සහෝදරාත්මකව ආරාධනා කරනවා. “

Similar Posts