mahindaya

ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර බලයෙන් හා ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට‍ ඊයේ (22) දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ ඇති, ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා පැවසීය.

එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දැනුම් දී ඇතැයි ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්‍පතේ 2, 3, 4, 5 සහ 9(1) වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමඟ අනනුකූල බැවින් එය තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කළ යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙහි සඳහන් විධිවිධාන ප‍්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවට සොයාගෙන ඇති වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප‍්‍රායෝගික නොවන බව ද අධිකරණය වැඩිදුරටත් සඳහන් කරන බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ තීන්දුව පිළිබඳ මතය දැනුම් දෙමින් කීය.

Similar Posts