ranil

සියලුදෙනාගේම සහාය ගෙන රට පවතින අසීරු තත්ත්වයෙන් මුදාගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන්  බැහැදුටු අවස්ථාවේය.

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බව එහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මං මෙතන රටේ ජනාධිපති හැටියට. මෙතෙනට එන්න පුළුවන් වුණේ ඔබ වහන්සේ දුන්න අවවාද නිසා. නැත්තම් මං මෙතැන්ට එන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ හැටියට. අගමැති තනතුර ගන්නාවාද නැද්ද හිටපු අවස්ථාවේ ඔබවහන්සේ කිව්වා, අනික් ඒවා පැත්තකට දාලා රට ගැන හිතලා භාරගන්න කියලා. එතැනින් තමයි මේ ගමන ආරම්භ වුණේ. අගමැති හැටියට මගේ යුතුකම තිබ්බේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන්න. එදා රෑ මට කොච්චර පුද්ගලික හානි වුණත් මගේ පළවෙනි යුතුකම වුණේ අගමැති හැටියට මම දුන්න දිවුරුමත් අනුව මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මට අවස්ථාව ලැබුණා ඒ අමාරු දවස් කිහිපය තුළදී ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මොකද මම මේක අත ඇරලා ගියා නම් රටේ විශාල අවුලක් ඇතිවෙනවා. පුද්ගලික හානි පසුව විසඳිය හැකියි. රටට හානියක් වුණොත් ඒක විසඳන්න බැහැ. අපි මතක තියා ගන්න ඕනේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ජනතාවම ක්‍රියාකරන්නේ පාර්ලිමේන්තුව තුළයි. ජනාධිපතිතුමායි, අධිකරණය තුළයි. ගල් ගහලා ක්‍රියා කරන්නේ නැහැ. ගෙවල් පුච්චලා ක්‍රියා කරන්නේ නැහැ.විශේෂයෙන් ජනතාවට තර්ජනය කරලා විසඳන්න බැහැ. රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ. දැන් අපි යන්නේ අමාරු කාලයක. අපි සියලුදෙනාම එකතු වෙලා වැඩ කරනවානම් මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකයි දැන් සර්ව පාක්ෂික පාලනයක් ඇති කරන්න ක්‍රියා කරන්නේ.”

මෙහිදී සභාව ඇමතූ මහාචාර්ය මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේ මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බවය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්න ඔබතුමා බොහොම ලොකු කැමැත්තෙන් ඉන්නවා. අනුන්ගේ මතවලට ගරු කරන්න ඕනේ. අනුන්ගේ අදහස් ගන්නට ඕනේ. එහෙම ගත්තේ නැත්තම් කවුරුත් කියන්නේ වැඩේ වැරදුණාම අපි කිව්වා ඇහැව්වේ නෑනේ කියලා. ඒ නිසා ඔබතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවකට යෑම ඉතාම හොඳයි. මේ මොහොතේ අපි විශ්වාස කරනවා කවුරු හරි දේශපාලන නායකයෙක් මේකෙන් පස්සට යනවා. ඒ දේශපාලනඥයින්ව අපි මේ වෙලාවේ සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ජනතාවත් ප්‍රතික්ෂේප කරයි කියලා අපි හිතනවා. රට ගැන හිතනවානම්, රටේ අනාගතය අභිවෘද්ධිය ගැන හිතනවානම් මේ මොහොතේ සියලුම දේශපාලනඥයින් මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න ඕනේ.”

Similar Posts