කොරෝනා වසංගතය පවතින අඟුළු දමා ඇති මේ කාලයේ කුඩා බෝඩිං කාමරයක සිව් අවුරුදු වයසැති දරුවෙකු සහ සිය සැමියා සමඟ ජීවත්වූ කාන්තාවක් සාහසික ලෙස ඝාතනයවූ පුවතක්  මහරගම පොලිස් වසමේ පන්සල පාර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප්‍රියදර්ශනී නැමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්.කේ.චතුරංග පෙරේරා නැමැති  වෘත්තියෙන් පෙදරේරුවෙකු වන පුද්ගලයෙකු බවත් දරුවා පෙර පාසල් යන වයසේ පසුවන එල්.තෙහාන් අදීශ බවත් පොලීසිය පැවසීය.
මෙම යුවල සහ දරුවා ස්ථිර වශයෙන් ප්‍රගති මාවත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අය බවත් මෙම බෝඩිං කාමරය වෙත මාස දෙකකට පමණ ඉහතදී පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.
gathana
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා පෙදරේරු කටයුත්තක් සඳහා ඉකුත් (24) වන දින පන්නිපිටිය ප්‍රදේශයට ගොස් සිටි අවස්ථාවේදී මියගිය කාන්තාව සහ කුඩා දරුවා පමණක් මෙම කාමරයේ සිට ඇති බවත් එම නිසා මෙම මරණය පිළිබඳව තමන්ට සැකයක් ඇති බව ස්වාමිපුරුෂයා විසින් මහරගම  පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන්  බෝඩිං කාමරවල පදිංචිව සිටින පුද්ගලයන් හා අවට නිවැසියන් කිහිප කීපදෙනෙකු කැඳවා සටහන් කරගත් ප්‍රකාශ අනුව විමර්ශන සිදු කරමින් සිටියදී යාබද බෝඩිං කාමරයේ පදිංචිව සිටින යුවළක් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවැසීය.
ඉකුත් 24 වන දින අලුයම 01.15 පමණ යාබද බෝඩිං කාමරයේ පදිංචිව සිටින  කාන්තාව ශරීර අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට යාමට නිවසේ දොර විවෘත කිරීමේදී එම ශබ්දය තමන්ට ඇසුණු බවත් තරුණිය වැසිකිලියට ගොස් නැවත  පැමිණීමේදී එම ස්ථානයේ පැවති ඝන අන්ධකාරයක් සමඟ තමා කාන්තාව වැළඳගෙන අතවරයක් කිරීමට සූදානම්වූ අවස්ථාවේදී කාන්තාව එයට විරෝධය පා තමන්ව තල්ලු කර දැමූ බවත් ඉන්පසුව නැවත නැගිට තරුණිය අල්ලා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ ඇය බිම ඇද වැටුණු බවත් එවිට ඇය උස් හඬින් කෑ ගැසීමට උත්සහ කිරීමේදී ඒ අසල තිබූ ඉදල් මිටක් වැනි මුගුරකින් හිසට පහරදුන් බවත් කාලයක පටන් මෙම කාන්තාවගේ ඇසුර ලබා ගැනීමට තමන් කැමැත්තෙන් සිටි බවත් සැකකරු පාපොච්චාරණය කළ බවද පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ තරුණිය සිහිමුර්ජා වී සිටි බැවින් උස්සා ගෙන රැගෙනවිත් ඇය සිටින බෝඩිං කාමරේ ඇඳ මතට දැමූ බවත් එවිට එහි නිදා සිටි කුඩා දරුවා අවදිව මහ හඬින් අඩන්නට ගත් බවත් තමන් එවිට බියට පත්වී කාමරයෙන් පිටතට පැමිණ තමන් පදිංචිව සිටින බෝඩිං කාමරයට පැමිණ බිරිඳට වත් නොඇසෙන පරිදි නැවත නිදාගැනීමට ගිය බවත් මෙම අවස්ථාවේ තමන් අධික ලෙස මත්පැන් පානය කොට සිටි බවද සැකකරු විසින් පොලිසියට පවසා ඇත.
ඉන් පසුව දරුවාගේ හැඬීමේ ඒ ශබ්දය අසල්වැසි නිවසේ පාඩම් කරමින් සිටි දියනියකට ඇසීමත් සමග ඇය මේ පිළිබඳව එම නිවසේ මවට සහ පියාට දැන්වීමත් සමග එම යුවළ මෙම බෝඩිං කාමරය දෙසට පැමිණ එබිකම් කර බැලීමේදී දරුවාගේ හැඩිමේ ශබ්දය නොනවතින බැවින් අසල්වාසීන් කිහිප දෙනෙකුටද කතා කොට කාමරය තුලට ගොස්  පරීක්ෂා කර බැලීමේදී තරුණිය ඇඳ මත ලේ පෙරාගෙන වැටි සිටින ආකාරය දුටු ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ඇයගේ ස්වාමිපුරුෂයාට දුරකතනයෙන් කතා කොට දැන්වීමෙන් අනතුරුව ඔහු ඥාතියෙකු සමග පැමිණ ප්‍රතිකාර ලබාදීම සඳහා කාන්තාව ත්‍රීරෝද රථයකින් කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති බවත් එහිදී කාන්තාවගේ තත්ත්වය බරපතල බැවින් වෛද්‍යවරුන් විසින් පවසා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහා  ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් පොලිසිය පැවැසීය.
කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් තරුණිය (29) වන දින උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය.
මෙහිදී වෛද්‍යවරුන් විසින් මෙම මරණය සැක සහිත එකක් බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම සිද්ධිය වාර්තා කර මෙම සිදුවීම සිදු සිදුවූ ස්ථානයේ ස්ථානික පරීක්ෂණය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් පී. මංචනායක මහතා පැවැත්වීමෙන් අනතුරුව  මහේස්ත්‍රාත් වරයාගේ නියෝග පරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවත් මෘත  දේහය තැන්පත් කර ඇති ජාතික රෝහල  මාලිගාකන්ද අධිකරණ බල ප්‍රදේශයට අයත් බැවින් මාලිගාකන්ද අධිකරණයට මෙම සිද්ධිය වාර්තා කොට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ලැබුණු නියෝග අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තනූජා විජේතුංග මහත්මිය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ලැබුණු නියෝග මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත මරණ පරීක්ෂණය කිරීම සඳහා බාරදීම සිදුකර ඇති බවත් එහිදී කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන් රාහුල් හක් මහතා විසින් මෙම මරණය මොට ආයුධයකින් හෝ දණ්ඩක් වැනි දේයකින් හිසට පහර දීමෙන් සිදුවූ තුවාල මත සිදුව ඇති එකක් බවත් වාර්තාවක් ලබා දුන් බවත් පොලීසිය පැවසීය.
 (38)වැනි වියේ පසුවන විවාහක සැකකරු පල්ලම පාර, ආඬිගම ලිපිනයේ පදිංචි කුලී වැඩ කරන්නෙකු බවත්  සැකකරු මීට පෙරද අවස්ථා ගණනාවක දීම නිවාසයන්ට හොර රහසේ ඇතුළු වීම සම්බන්ධයෙන් අයුතු ඇතුල්වීම නඩු 12ක් පවතින බවත් පොලිසිය පවසයි.
මහරගම පොලිස් ස්ථානයේ නිලධාරින් රැසකට කොරෝනා  රෝගය වැළඳීමත් සමඟ රාජකාරි සඳහා යෙදවීමට ඉතාම අඩු නිලධාරීන් සංඛ්‍යාවක් සිටියදීත් අබිරහසක් ලෙස යටපත් වීමට ගිය මෙම ඝාතනය දින තුනක් වැනි කෙටි කාලයකදී සොයාගැනීමට හැකිවීම පිළිබඳව මහරගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ඇතුළු  පොලිසියේ නිලධාරීන්ට ප්‍රශංසා කරන බවද ප්‍රදේශවාසීන් පවසයි.
සැකකරු (01) දින  ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග ලබා දී ඇති බවද පොලිසිය පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත  දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  චන්දන ලියනගේ, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 04 බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර  වීරසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 43672 සුරංජිත්, 55871 ගාමිණි, කාන්තා පොලිස් සැරයන් 5497 දීපානි, පොලිස් කොස්තාපල් 84742 ලක්ෂාන්, 92521 සමරසිංහ, 86221 වීරසිංහ යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

Similar Posts