jathika

වර්තමානයේ ජාතික අරගලය වන්නේ දරුවන්ට ඉගැන්වීමයිග එය පරාජය කරන්න එපා’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිටත්වීමේ මගී පර්යන්තයේ අලුතින් ඉදි කරන ලද ‘විගමන පියස‘ ජනතා අයිතියට පත් කළ අවස්ථාවේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ගුරුවරුන් ඔන්ලයින් පන්ති වර්ජනය කරමින් දිගින් දිගටම පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.

ගුරුවරුවන්ගෙන් මා ඊයේ දිනයේත් ඉල්ලීමක් කළා අදත් ඒ ඉල්ලීම කරනවා ආණ්ඩුව සමග හෝ පොලීසිය සමග හෝ තිබෙන ගැටලුවලට දරුවෝ පලි නැහැ. ඒ නිසා දරුවෝ දිහා සානුකම්පිතව බලන්න.

ආණ්ඩුව සමග තිබෙන ගැටලු සාකච්ඡා කර විසඳාගත යුතුයි. දරුවෝ ගැන හිතලා ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්න.

වෘත්තිය සමිති වශයෙන් තම අයිතීන් ජයග්‍රහණය කරගන්න ඔවුන්ට අයිතියක් තිබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කරන්නත් ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි තහවුරු කළ යුතුයි.

නමුත් තම අයිතිය තහවුරු කරගැනීමට යාමේදි තවත් කෙනෙකුගේ වරප්‍රසාදයක් හෝ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා නම් සැබෑ වෘත්තීය සමිති ව්‍යාපාරය යනු එය නොවේ.

සැබෑ වෘත්තීය සමිති ව්‍යපාරය කියන්නේ තමන්ගේ අරගලය ජයග්‍රහණය කිරීම තුළ ජාතික අරගලයත් ජයග්‍රහණය කිරිමයි.

තමන්ගේ අරගලය ජයග්‍රහණය කිරීම තුළ ජාතික අරගලය පරාජය කරන්න එපා කියලා මම ගුරුවරුන්ට කියනවා. ජාතික අරගලය වෙන්නෙ දරුවන්ගේ අධ්‍යාපනය.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගුරුවරුන්ගෙන් දරුවන්ට ඉගැන්වීමේ ජාතික අරගලය පරාජය නොකර තමන්ගේ අරගලය ජයග්‍රහණය කරන ලෙස.

ගොඩනැගිලි හදලා සියලුම තාක්ෂණය ගෙනවිත් දරුවන්ට ඉගැන්නුවේ නැත්නම් එහි ප්‍රයෝජනයක් නැහැ.

ඒ නිසා විශේෂයෙන්ම දරුවෝ ගැන හිතලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට උදව් කරන්න කියලා ඉල්ලනවා.

අධ්‍යාපන අමාත්‍යංශයත් සමග එක්ව ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල මධ්‍යස්ථාන 3000කට වැඩි ප්‍රමාණයක් ඇති කර තිබෙනවා. ඒ මධ්‍යස්ථාන වෙත පැමිණ දරුවන්ට අධ්‍යාපනය හදාරන්න පුඵවන්.

අතිගරු ජනාධිපතිතුමාගේ ගමට සන්නිවේදන සංකල්පය යටතේ මේ වනවිටත් රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඒ වගේම මාතර සහ මේ අවුරුද්ද අවසානයේ දිස්ත්‍රික්ක 10කත් ලබන අවුරුද්ද අවසානයේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදිත් සන්නිවේදන කුලුණු ඉඳිකිරිමේ වැඩපිළිවෙළ සහ කුලුණු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා.

තවත් සාධනීය කාරණයක් විදියට එන්නත්කරණය අවසන්වීගෙන යනවා. අපි විශ්වාස කරනවා ග්‍රාමීය පාසල් ඉතාමත් ඉක්මනින් එන්නත්කරණය අවසානයේ ආරම්භ කිරීමට හැකිවෙයි කියලා විශ්වාස කරනවා. ගුරුවරුන්ගේ හා පෙර පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා. මේ තුළ ඉතාමත් කඩිනමින් දරුවන්ගේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

Zoom තාක්ෂණය ඔස්සේ සහ අනෙකුත් Microsoft Teams වලට අමතරව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS System – Learning Management System) පාසල් 20 ක්‍රියාත්මක වෙනවා. ලබන මාසේ වනවිට එය පාසල් 200ක් පමණ වෙනවා. අවුරදු 1 ½ ක් ඇතුළත සියලුම පාසල් ආවරණය වන පරිදි LMS System එක හඳුන්වාදෙනවා.

e- තක්සලාව platform එක හරහා LMS System එක ලබාදෙන නිසා ඒ තුළ Video Conference පහසුකම ද අන්තර්ගත වෙනවා.

e- තක්සලාව platform එකට ඩේටා සඳහා කිසිඳු මූල්‍ය වියදමක් දැරීමට සිදු නොවන නිසා කොවිඩ් වසංගතයෙන් පසුවත් දරුවන්ට LMS System නැත්නම් Video Conference තාක්ෂණය හරහා තම අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකියි.

ඉහතින් සඳහන් කළ සියලුම කාරණා ප්‍රායෝගික මට්ටමින් මේ වනවිටත් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Similar Posts