weli

හොරොව්පොතාන යාං ඔය වහගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි ගබඩාවක ඇති වැලි කියුබ් දහස් ගණනක ප්‍රමාණයක් නීති විරෝධි වැලි ජාවාරම්කරුවෙකු වන වැලි රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොල්ලකරුවෙකු විසින් කොල්ල කෑම සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් එය භූවිද්‍යා නිලධාරින්ට පැමිණිලි කරනා ලෙස පවසමින් ඔහු මුණිවත රකින බව ව්‍යාපාරික ඒ.වික්‍රමසිංහ මහතා පවසයි.

හොරොව්පොතාන නගරයේ පදිංචි ඒ වික්‍රමසිංහ මහතා විසින් යාං ඔය ව්‍යාපෘතිය යටතේ පසුගිය සමයේ නීත්‍යාණුකූලව වැලි ඉවත් කිරීම සිදුකළ බවත් වැලි රාජා නැමත්තා චන්ඩි කමින් හා චන්ඩින් යොදා ගෙන වැලි කොල්ල කෑම සිදුකරමින් සිටියත් ඔහුට නීතිය ක්‍රියාත්මක නොවන බව උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා තිබේ.

වැලි ට්‍රැක්ටර් බලපත්‍ර නොමැතිව අදාල ප්‍රදේශයට ඇතුල් කර තමන් සේදූ වැලි කියුබ් විශාල ප්‍රමාණයක් කොල්ල කමින් සිටිනා බව ව්‍යාපාරිකයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සැලකර ඇතත් ඔහු විසින් පවසා ඇත්තේ පොලිසියට එම රාජකාරිය අයිති නොවන බවත් එහි වගකීම ඇත්තේ භූවිද්‍යා හා පතල් කාර්යංශයට බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැටලිම් කටයුතු සදහා භූ විද්‍යා පතල් කාර්යංශයේ නිලධාරින් සිව් දෙනෙකු පමණක් සේවය කරනා බව අනාවරණය විය.වැලි ජාවාරම සිදුවන ස්ථානය ආසන්නයේම පොලිස් මුර පොලක් පිහිටුවා ඇතත් එහි නිලධාරින් ජාවාරම්කරුට රිසි අන්දමින් වැලි ප්‍රවාහනය කර ගැනීමට අවස්ථාව සලසාදි තිබෙනා අයුරු එහි ගිය අවස්ථාවේ දැකගත හැකි විය.

වැලි ජාවාරම්කාර කොල්කරු විසින් වෙනත් පුද්ගලයෙකුට අයිති වැලි ට්‍රැක්ටර් යොදා ගනිමින් ප්‍රවාහනය කරනා අතර මීට පෙරත් වැලි රාජා තමන්ගේ වැලි කොල්ල කන බවට පසුගිය ජූනි මස (27දා) හොරොව්පොතාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කර ඇතත් එම පැමිණිල්ල (8දා) වනතුරුත් විභාගයට ගෙන නොතිබුණි.

තමන් විසින් සෝදා පිරිසිදු කළ වැලි කියුබ් 1500ක් පමණ අදාල ස්ථානයේ තිබෙනා බවත් වැලි රාජා නමින් හදුන්වන ජාවාරම්කරු පසුගිය දින කිහිපයේ සිටම එම වැලි තොග දිවා රාත්‍රී නොබලා පොලිසිය බලා සිටියදීම ට්‍රැක්ටර් හා ලොරි රථ වලින් ප්‍රවාහනය කරනා බව ඒ වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ජාවාරම්කරුට එරෙහිව හොරොව්පොතාන පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කිරිමෙන් පසුව පොලිස් නිලධාරින් දෙදෙනෙකු එහි එවා ඇති අතර කට්ටිය මදි නිසා ඔවුන් අල්ලන්න බෑ කියමින් පැමිණි පොලිස් නිලධාරින් ආපසු හැරී ගොස් තිබේ.

පැවති ගංවතුර තත්වය කොරෝනා වසංගත තත්වය නිසා තමන්ට අයිති වැලි තොගය ගබඩා වලින් ඉවත් කිරීමට නොහැකිවීම නිසා අදාල ස්ථානයට රාජ්‍ය නිලධාරින් සමග ගොස් ඒකාබද්ධ පරික්ෂණයක් පවත්වා වැලි තොගය ප්‍රවාහනය කර ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටියදි වැලි රාජා නැමත්තාගේ ගෝලයන් පිරිස කඩා වැඩි මාර්ග විනාශ වන බව පවසමින් නිලධාරින්ට එහි යෑමට නොහැකි වන ලෙස තර්ජනය කරමින් පහරදීමට පසුගියදා උත්සහ කර තිබේ.

ජාවාරම්කරුට යාං ඔයේ වැලි ගොඩ දැමීමට අවසර නොමැති අවස්ථාවක මැර බලය හා අවනීතිය යොදා ගනිමින් අන්සතු සම්පත් උදුරා ගැනීමට කටයුතු කරනා බවත් වැලි ගබඩාව පිහිටි ස්ථානයට යාමට හැකි ආකාරයට යාං ඔයේ ජලය සිදියාම නිසා කොල්ලකරු දිගින් දිගටම බලපත්‍ර නොමැතිව වැලි තොග කොල්ලකා ප්‍රවාහනය කරනා බව ව්‍යපාරිකයා පැවසුවේය.

ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට පොලිසියට එම රාජකාරි අයිති නැති බව පැවසුවේද යන්න පිළිබදව උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ කෙනෙක් පැමිණිල්ලක් කළා මම කිවුවා භූවිද්‍යා පතල් කාර්යාංශයට කියන්න කියලා.නමුත් ඒ පිළිබදව සොයා බලන්න කියලා මම හොරොව්පොතාන පොලිසියට උපදෙස් දෙන්නම් යනුවෙන් ඔහු පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts