අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ ථූපාරාම විහාරස්ථානය ආසන්නයේ පරම්පරා කීපයක් වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා  අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග ඊයේ (21දා) එම ස්ථානයට රැස්වූ වෙළඳුන් ඊට විරෝධය පළ කර සිටියහ.

ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල් ඉදි කළ බවත් විදුලිය ලබා ගෙන විදුලි බිල් ගෙවමින් නගර නගර සභාවට කඩ කුලී ගෙවමින් තමන් මෙතෙක් වෙළදාම සිදු කළ බවත් ඔවුහු පැවසූහ.

අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලිසෑය සමාධි පිළිමය ලංකාරාමය ඇතුළු බොහෝ පූජනීය ස්ථානවල වෙළඳුන් හට ස්ථිර වෙළෙඳසල් ඉදිකර දි ඔවුන් වෙළදාමේ නිරත වන බවත්  ථූපාරාමය අසල වෙළඳාමේ නිරත තමන් ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට අන්ත අසරණ වී ඇති බව එම වෙළඳුන් පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ වෙළඳසැල් හිමියකු එච්. ඩබ්ලිව් විජේසිංහ මහතා.

“මම දැන් වසර හතළිහකට අධික කාලයක් ථූපාරාම පුදබිමේ වෙළඳාමේ නිරත වනවා.වසර පහළොවක් පමණ ථූපාරාම මළුවේ වෙළදම් කළා.ඉන් අනතුරුව පෙත්මගේ වෙළදාම් කළා.දැන් රථ ගාල ආසන්නයේ වෙළඳසැලක් ඉදිකර ගෙන වසර හතරක් පමණ වෙළඳාම් කරනවා.

ඒ කාලේ අපි කඩ කුලී ගෙව්වේ පුරාවිද්‍යාවට එතරම් පැරණි ඉතිහාසයක් අපිට තියෙන්නෙ. හිටි හැටියෙම මෙම  වෙළඳ සැල් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අපිට දැන් යන එන මං නැති වෙලා.පසුගියදා ජනාධිපතිවරයා රුවන්වැලිසෑයට පැමිණි අවස්ථාවේදී අපි ලිපියක් බාර දුන්නා මේ සම්බන්ධයෙන් .අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ  සානුකම්පිතව මේ ගැන සොයා බලා අපිට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ කියලයි.

පිවිතුරු හෙළ උරුමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක සම්පත් මානවඩු මහතා.

මේ වසංගතයක් එක්ක අසරණ වූ එම වෙළඳුන් දැන් කබලෙන් ලිපට වැටිල ඉන්නේ. මේ වන විට පූජා නගර කමිටුව තීරණයක් ගෙන තිබෙනවා මෙම වෙළඳුන් ඉවත් කරන්න.

අපි කතා කරන්නේ මේ පූජා නගර කමිටුව ගන්න තීරණ වලට විරුද්ධව නෙමෙයි.මේවා සංවර්ධනය වෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනේ හැබැයි මෙතන වෙළඳුන් පනස් ගණනක් ඉන්නවා ඒ අයගේ පවුල් වලට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ ඒ අයගේ ජීවිතත් ලස්සන වෙන්න ඕනේ.

මේ වෙළදාමෙහි නිරත වෙන්නේ පූජා නගරයට පිටින් ආපු මිනිස්සු නෙමෙයි.පරම්පරා තුනක පමණ සිට ඔවුන් ජීවත් වුණේ වෙළදාම් කරලා. ළමයින් උස්මහත් කරේ,  ඉගැන්නුවේ  මෙම වෙළදාමෙන් ලැබෙන සුළු මුදලින්, වසර තුනකට ආසන්න කාලයක සිට පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ්  වසංගතයෙන් බැට කාපු මේ අයට වෙළදාමට සුදුසු ස්ථිර තැනක් දෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.

ථූපාරාමයෙන් එපිට, අක්කර 8 කියන ප්‍රදේශය යෝජනා කර තිබෙනවා මේ අයට වෙළඳාම සඳහා  නමුත් එම ස්ථානයට බැතිමතුන් එන්නේ නැහැ.අඩුම තරමේ එතන මලක් විකුණගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහත්තයා කිව්වා ලබන ඉරිදා සාකච්ඡාවකදී ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරලා විසඳුමක් ලබා දෙන්නම් කියලා, ඒ වචනේ විශ්වාස කරලා මේ අය ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

මෙම වෙළඳසැල් ඉවත් කිරීම සඳහා පැමිණි අනුරාධපුර නගර සභාවේ නිලධාරීන්  ලබන අඟහරුවාදා වන තෙක් කල් ලබා දී එම ස්ථානයෙන් පිටව ගියහ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts