රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති.
රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

මේ නිසා දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකවල වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවදානමකට ලක්වන බව ද ඔහු කීය.

රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) පවත්වාගෙන යෑම පවා නිශ්ඵල බව ද හෙතෙම අවධාරණය කළේ ය.

එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රියක මිල දී ගැනීම වෙනුවෙන් සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන තුන්සීයක පමණ මුදලක් මාස 4කට වඩා වැඩි කාලයක් තිස්සේ ගෙවීම සෞඛ්‍ය අමාත්‍යංශය පැහැරහැර ඇතැයි ඔහු චෝදනා කළේ ය.

මේ නිසා තවදුරටත් එම ප්‍රතික්‍රියක ලබා දීම කළ නොහැකි බව අදාළ සමාගම් දන්වා ඇතැයි ද ඒ හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේ ය.

Similar Posts