abirahas

වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය සොයමින් තවමත් හැඬූ කඳුලින් දිවි ගෙවන අසරණ දෙමාපියන් යුවලක් සිය දියණියට සිදුවුයේ කුමක්ද යන්න අනාවරණය කරදීමට නීතිය ක්‍රියාත්මක කරනා පොලිසිය අසමත්වි ඇති බව පවසති.

තිරප්පනය පොලිස් වසමේ මරදන්කල්ල මිරිස් කටුකැලියාව ගම්මානයේ මැටියෙන් තැනූ පැල්පතක ජීවත් වන කේ.විජේසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ අදටත් අභිරහස් අන්දමින් අතුරුදන්වූ කථා කිරීමට නොහැකි සිය දියණියගේ ඡායාරූපයක් සන්තකයේ තබාගෙන හඩාවැටෙමින් ඇය එන තෙක් මඟ බලා සිටිති.

වයෝවෘද්ධ මාපිය යුවලට දරුවන් සිව් දෙනෙකි.පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණූ දරුවන් දෙදෙනෙකු අතර තෙවනි දරුවා වූ ඇය 1987 වර්ෂයේ නොවැම්බර් 13 වන දින උපත ලද මයුරකාන්ති විජේසිංහයි.උපතේ සිටම කථා කිරීමට නොහැකි ඇයට අම්මා තාත්තා ඇතුළු වචන තුනක් පමණක් ඇය කථා කළ බව විජේසිංහ මහතා පැවසීය.

දෙමාපියන්ගේ අසරණකම නිසා ඇය වයස අවුරුදු17න් පසු සිය දෙමාපියන් සමඟ කුලී වැඩ කර සිය සහෝදර සහෝදරියන් රැක බලා ගනිමින් ගුණ යහපත් ලෙස දිවි ගෙවු බව අසල්වාසින්ද පැවසූහ.මල පොතේ අකුරු නොදන්නා මව්පියන් ගව හා එළු පට්ටියක් රැක බලා ගනිමින් සිය දරු පවුල පෝෂණය කර තිබේ.

2006 වර්ෂයේ අවසානයේ දින කිහිපයකට විජේසිංහ මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ දියණියට දරුවකු ලැබී ඇති හෙයින් ඇයට ආවතේව කිරීම‌ට තිරප්පනය තෝඩාමඩුව ගම්මානයට ගොස් තිබේ.ඇය දින ගණනක් එම නිවසේ සිට ඇති අතර ඥාති නිවසක් නිසා දෙමාපියන් ඇයගේ පැමිණිම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නොමැත.

2007වසරේ ජනවාරි අටවනදා සිට ඇය අභිරහස් අන්දමින් අතුරුදන්විම සම්බන්ධයෙන් පියා පොලිස්ථාන දෙකකට පැමිණිලි කර ඇතත් පොලිස්ථා නිසි විමර්ශනයක් සිදු නොකිරීම නිසා ඇයගේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසක් බවට පත්වි තිබේ.

සිය දියණිය අතුරුදන්වි ඇති බව කියමින් තිරප්පනය හා මිහින්තලය පොලිස්ථාන වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එවකට සිටි නිලධාරින් පැමිණිලි භාර ගැනීමට නොහැකි බව කියමින් ඔවුන් පලවා හැරි බව විජේසිංහ මහතා පැවසීය.

පොලිස්ථාන වලින් තමන්ට සාධාරණයක් ඉටුනොවිම නිසා ඔහු උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් 2007 වර්ෂයේ ජනවාරි තිරප්පනය හා මිහින්තලය පොලිසි විසින් තමන්ගේ පැමිණිල්ල භාර නොගත් බවත් තමන්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කළ නියෝගයකට අනුව මිහින්තලය පොලීසිය විසින් 2007පෙබරවාරී මස 07 වන දින පැමිණිල්ල භාරගත් බවට සනාථ කරමින් පැමිණිලි කුවිතාන්සියක් විජේසිංහ මහතාට නිකුත් කර තිබෙනා අතර වසර14ක් පැරණි පැමිණිලි කුවිතාන්සිය තවමත් ඔහු සතුව තිබේ.

මෙම තරුණ කාන්තාව පුද්ගලයෙකු විසින් දූෂණයට ලක්කර ඇයට දරුවෙකු ලැබීමට සිටි නිසා ඝාතනය කළ බවට තොරතුරු තිබෙනා බවත් යම් බලධාරියෙකුගේ අත පෙවීමක් නිසා මිනී මරුම යටගොස් ඇති බව ගම්මානයේ පදිංචි පිරිසක් පවසයි.

පියා ඇය තවම ජීවත්ව සිටින බවට විශ්වාස කරන අතර ඇය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර දියණියට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කර දෙන ලෙස පියා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts