dilum

අත්‍යවශ්‍ය සේවාවල නිරත කාර්යය මණ්ඩලය ප්‍රවාහනය සඳහා වෙන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ, සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරන තෙක් පවතින අයුරින්ම ධාවනයේ යොදවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රට යළි විවෘත කළත් අන්තර් පළාත් හා දුම්රිය ගමනාගමනය සිදු නොවන නිසා අත්‍යවශ්‍ය සේවා කාර්යය මණ්ඩල වෙනුවෙන් එම ප්‍රවාහන සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඒ මහතා කීවේය.

පවතින නීතිරීති අනුව අන්තර්  පළාත් බස් රථ සහ දුම්රිය ධාවනය ආරම්භ වීමට සති කිහිපයක් ගත වනු ඇතැයි  පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවට පළාත් සභා මාර්ග අධිකාරි සතු බස් රථ වැඩි ප්‍රමාණයක් යළි ධාවනයට එක් කිරීම සඳහා පුද්ගලික බස් රථ වෙනුවෙන්  සහනාධාර ලබාදීමේ වැඩිපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලික බස් රථ එක්දහස් තුන්සියයක් සඳහා සහනාධාර ලබාදීම නිමිත්තෙන් මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැති උත්සවයට එක් වෙමිනි.

ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශන  කඩ කරන පුද්ගලික බස් රථ බලපත්‍ර අවලංගු කොට අදාල බස් රථය පොලිස් භාරයේ තබා ගැනීමට කටයුතු කරන්නැයි පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැන්වූ  බව ද ඒ මහතා කීවේය.

පසුගිය කාලයේදී එවැනි කොන්දේසි කඩකළ බස් රථ එකසිය හැටකට අධික ප්‍රමාණයකගේ බලපත්‍ර අහෝසි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ බස් රථ හයදහසක් ධාවනය විය යුතු වුවත් ඊයේ දිනයේ ධාවනය වූයේ බස් රථ නමසියයක් යැයි කී අමාත්‍යවරයා, බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් වෙනත් රැකියා කරා යොමු වී ඇති බවත් ප්‍රවාහන සේවාවේ අවිශ්වාසනීය බව හේතුවෙන් ඔවුන් රැකියා අතහැර ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

එවැනි තත්ත්වයක් යටත් යළි බස් රථ මාර්ගයට එක් කිරීම සඳහා සහනාධර ලබා දෙමින් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව සිදුකරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts