රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවෙකු විශේෂ කාර්ය  බලකායේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

පෑලියගොඩ පොලිස් වසමේ වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉදිරිපිටදී  දී මෙම වැටලීම කර ඇත. එහි දී සංචරණ සීමා උල්ලංඝණය කරමින් ජාවාරම් කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පදිංචි 30 හැවිරිදි අයෙකි. මොහු සන්තකයේ අයිස් කිලෝ 01 ග්‍රෑම් 666 ක් සමඟින් යතුරුපැදියක් හා ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

ශානිකා

Similar Posts