ජාති ආගම් හා දේශපාලන වාසි පිළිබඳව නොතකා මෙම බැරෑරුම් අවස්ථාවේදී සියලු දෙනා එකාවන්ව කොවිඩ් පරාජය කිරීමට නැගී සිටිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියන් පවසති.

වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් කළත් එහි ප්‍රතිඵල ලැබීමට නම් මහජනයා සෞඛ්‍ය නිර්දේශ වලට අනුගත විය යුතු යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

වෛරස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව රට වසා තැබීම කළ නොහැකියැයි අද (07) විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

නිරෝධායන ඇඳිරි නීතිය  පනවා ඇති අවස්ථාවක ඇතැම් පිරිස් අනවශ්‍ය ගමන් බිමන් වල යෙදෙමින්  වෛරස් ව්‍යාප්තියට අනුබල දෙන අයුරින් හැසිරෙන බව උන්වහන්සේ සඳහන් කළහ.

එසේ වුවහොත් රෝග ව්‍යාප්තිය ඉහළ යන අතර රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් වන බව උන්වහන්සේ කීහ.

මෙම අවදානම් අවස්ථාවේදී පටු වාසි නොතකා රට වෙනුවෙන් ඉවසිලිවන්ත විය යුතුයැයි අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts