mihinthalaya

මිහින්තලය පොලිස්වසමේ සුරුක්කුලම ගම්මානයේ පිහිටි සුලුගුළු විහාරස්ථානයට ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම් ලෙස නම්කර තිබෙනා අක්කර ගණනාවක් ට්‍රෑක්ටර් යොදාගෙන සීසෑ බවට (ඩිෂ්කිරීම)චෝදනා ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය පොලිස්වසමේ 565 ඉහළගම තුලාන සුරුක්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් විමර්ශනය කිරීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා මහවිලච්චිය පොලිස්වසමේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. සුලුගුළු විහාරස්ථානයේ වැඩ වසන හිමිනමක් විසින් කැලෑ එළිකිරීම් හා විවිධ කැනීම් කටයුතු මෙහෙයවනා බව කියමින් ඊයේ (17)ගම්වැසියන් පනහක පමණ පිරිසක් විහාරස්ථානය ආසන්නයට පැමිණ විරෝධය පලකරමින් සීසෑමේ කටයුතු වලට විරෝධතාවය පලකර එම කටයුත්ත නතර කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

ගම්වැසියන් විසින් පුරාවිද්‍යා බිම සීසෑමට විරෝධය පලකරනා අවස්ථාව වන විටත් එහි පැමිණ සිටි පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකු පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ගල් යොදා සීමා මායිම් කර තිබූ අක්කර පහක පමණ ප්‍රමාණයක් සීසා තිබුණු බව පැවසූහ. ඊට විරෝධතාවය පලකළ ගම්මුන් පිරිසක් මෙසේ පැවසූහ.

මේ විහාරස්ථානය ආසන්නයේ පසුගිය දින කිහිපයේම අමුතු අමුතු වැඩ සිද්ධවෙනවා. ළිං හාරනවා වහනවා කැලෑ කොටනවා මොනවද මේ වෙන්නේ.අක්කර 32කට අධික ප්‍රමාණයක් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සිය බිමක් බව කියමින් ගල් යොදලා සීමා සටහන් කරලා තියෙද්දි කොහොමද පිටස්තර පුද්ගලයන් ඇවිල්ලා ඒවා සී සාන්නේ.හිමිනම අක්කර පහක් රුපියල් ලක්ෂ පහකට වික්කා කියලා ඇවිල්ලා ඉන්න පිරිස කියනවා.

ගම්මුන් අදුනන්නේ නැති කාන්තාවක් කැබ් රථයකින්  ඇවිල්ලා සීසානවා බලලා ගිහින් තියනවා .අපි වගාකළ බිම් සියල්ල පුරාවිද්‍යා කියලා මායිම් සීමාදාලා තියෙද්දි පිටස්තර පුද්ගලයන් ඇවිල්ලා කොහොමද බිම් පෙරලන්නේ.

අපේ ගමේ සොහොන් පිටිය පවා පුරාවිද්‍යා බිමක් බවට මයිම් කරලා. අපිට උදැල්ලක් අරගෙන කැලෑවට යන්න බෑ පුරාවිද්‍යාව ඇවිල්ලා අපිව අල්ලනවා. නමුත් කොහොමද මේ තරම් විශාල බිමක් පිටස්තර පිරිසක් සීසෑවේ.

සුළුගුළු විහාරස්ථානය ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම සීසෑමට පැමිණි ට්‍රැක්ටර් රථ දෙකට ගම්මුන් ගමෙන් පලායාමට නොහැකි වන ආකාරයට රැකවල් යෙදු අතර පසුව පොලිස් නිලධාරින් පැමිණ එම රථ දෙක සමග සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද  (18දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අදාල විහාරස්ථානයේ හිමිනම පුරාවිද්‍යා බිම එළිපෙහෙලි කිරිමේ කටයුත්තට සම්බන්ධතාවක් නැති බව මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි තහවුරු කළේය.

මෙතරම් විනාශයක් සිදුවූවත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කිසිදු නිලධාරියෙකු අදාල ස්ථානයට නොපැමිණි බව ගම්වාසින් චෝදනා කළහ.

mihinthalaya mihinthalaya mihinthalaya

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts