niwadu-nikethanaya

රාජකාරි කටයුත්තකට පැමිණි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ බුද්ධශාෂන හා ආගමික කටයුතු පිළිබද ලේකම් පූජ්‍ය අග්ගාරේ කස්සප හිමිපානන් ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක බීමතින් යකානටා දේපළවලට අලාභහානි සිදුකළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ලාබාල මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු මිහින්තලය පොලිස්වසමේ කුරුන්දන්කුළම පිහිටි නිවාඩු නිකේතනයේ මත්පැන් සාජ්ජයක් පවත්වා තිබෙන අතර එදින මධ්‍යම රාත්‍රීය වනතුරුත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව නොයෑම නිසා නිවාඩු නිකේතනයේ ආරක්ෂක අංශය ඔවුන්ට වේලාව අවසන්වි ඇති බව දන්වා තිබේ.

නිවාඩු නිකේතනයේ කාමර කිහිපයක් වැදගත් පුද්ගලයන් නවාතැන් ගෙන සිටින බවත් මත්පැන් සාජ්ජය නිසා නිදා සිටින ඔවුන්ට හිරිහැර වන බවත් ස්වාමින්වහන්සේ නමක්ද කාමරයක නවාතැන්ගෙන සිටින බවත් ආරක්ෂක අංශය ඔවුන්ට දන්වා තිබේ.

මත්පැනින් සූර්වි සිටි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හාමුදුරුවරු කොහොමද යකෝ හෝටල් වල නවතින්නේ එන්න කියපිය එළියට අපි හැමදාම බොන්නේ මෙහෙ කවුද අපිව එළවන්න හදන්නේ යනුවෙන් පවසමින් කළහාකාරි අන්දමින් හැසිරි ආයතනයේ ජනේලයක වීදුරුවක්ද පහරදි කඩාදමා තිබේ.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හිමිනම ඇතුළු පිරිස නවාතැන්ගෙන සිටි කාමරය ආසන්නයට ගොස් එළියට පැමිණෙන ලෙස තර්ජනය කරමින් කෑකෝ ගසා ඇතත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ කිසිදු පුද්ගලයෙකු අදාල කාමරයෙන් පිටතට පැමිණ නැති අතර ආරක්ෂක අංශය මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කළහකාරි අන්දමින් හැසිරීම නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා කියා සිටියේ අදාල නිවාඩු නිකේතනයේ ගැටුමක් සිදුවි අලාභ හානියක් සිදුව තිබෙන බවයි.එහෙත් ස්වාමින්වහන්සේ ඇතුළු පිරිස ඊට මැදිහත්වි නැති බවත් ඔවුන් කිසිදු පැමිණිලක් ඉදිරිපත් කර නැති බවත් පැවසුවේය.

අදාල නිවාඩු නිකේතනයේ කලමනාකාරිත්වයෙන් දේපළ අලාභ සිදුවිම් සම්බන්ධයෙන් පොලිස්ථානයට ඊයේ (21දා) දහවල් වනතුරු පැමිණිලි නොලැබුණු බවත් එහෙත් ඔවුන්ට සිද්ධිය පිළිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරනා ලෙස පොලිසිය දැනුම්දුන් බවත් එම හිමියන් අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලයේ හිමිනමක්ද යන්න නොදන්නා බව ඒ මහතා පැවසුවේය.

ලාබාල මන්ත්‍රීවරයා කළහකාරි මන්ත්‍රීවරයෙකු වන අතර පාසල් සමයේදි ඉගෙනුම ලැබු විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීම නිසා විද්‍යාලයෙන් නෙරපු අතර අනුරාධපුර හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය ගමන්කළ නිල රථයට මහකනදරාව වැව් බැම්මේදි ගල්වලින් පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වූවෙකි.

2017 වසරේ පොසොන් රාජකාරිවල නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරියෙකුගේ නිල ඇදුම ඉරා පහරදීම මිහින්තලය නගරයේ ආපන ශාලාවකට පහරදී අලාභ සිදුකිරීම හා පුද්ගලයන්ට පහරදීම ඇතුළු ගණනය කළ නොහැකි සිදුවිම් රැසකට චෝදනා ලැබුවෙකි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts