online
අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
කොරෝනා කොවීඩ් වසංගතයක් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ වාර්ෂික  පර්යේෂණ වාර්තා එළිදැක්වීම නිමිත්තෙන් එම පීඨයේදී පැවැති උත්සවයකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මාර්තු සහ අප්‍රේල් පමණ වනවිට අන්තර්ජාලය ඔස්සේ දේශන කටයුතු ආරම්භ කිරීම නිසා ජුනි මාසය පමණ වන විට විශ්වවිද්‍යාල සිසුන්ට විභාග පැවැත්වීමට හැකි වුණු බව සභාපතිවරයා කීය.
ඉකුත් නොවැම්බර් මාසයේ අවසන් සති තුන තුළදී පමණක් දේශන හැත්තෑ දහසක් පමණ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වා ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
නමුත් විශ්ව විද්‍යාල විවෘත කිරීම ගැටලුවක් වන්නේ නේවාසිකාගාර තුළ සිසුන් විශාල පිරිසක් රැදී සිටිම යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුව කලාපීය විශ්වවිද්‍යාල පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්තමාන ඉගෙනුම්කරණය අනුව  ඉදිරියට පැමිණ ඇති බවත් එම ඉලක්ක සපුරා ගත නොහැකි ඇතැම් විදේශීය විශ්වවිද්‍යාල අදාළ සමීක්ෂණයේ සිය විශ්ව විද්‍යාලයේ තත්ත්වය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිය බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts