piththala

බොරලැස්ගමුව පොලිස් වසමේ මයුර මාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන මංගල උත්සව අලංකරණය සඳහා පිත්තල භාණ්ඩ  ලබාදෙන ආයතනයක් බිඳුම් කර රුපියල් ලක්ෂ දහයකට වඩා දේපල හා පිත්තල භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොරකම් කර සඟවා තිබූ පිත්තල භාණ්ඩ රැසක් සමග ඊයේ  (22) දින අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

සැකකරු සොරාගත් පිත්තල භාණ්ඩ පරණ යකඩ හා බෝතල් පත්තර විකිණීමේ ආයතනයකට පිත්තල බරට රුපියල් 16,000/= වැනි අඩු මුදලකට විකුණා තිබියදී සොයා පොලිස් භාරයට ගත් බවත් පොලීසිය පැවසීය.

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරු  42වැනි වියේ පසුවන විවාහක අයෙක්  බවත් තදින්ම මත්කුඩු පානයට හා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙක් බවත් පොලිසිය පවසයි.

මීට පෙරද මෙම පුද්ගලයා මෙවැනිම ආකාරයේ සොරකම් කිරීම් මෙන්ම මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිට නැවත ඇප මත නිදහස්ව සිටින අයෙක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවසීය.

සොරකම් කර තිබූ පිත්තල භාණ්ඩ අතරින් මල් බහාලුම් 39 හා සාමාන්‍ය මල් බදුන් විශාල සංඛ්‍යාවක් පරණ බඩු කඩයට විකුණා තිබියදී  සොයා ගත් බවත් ඉන් එක් පිත්තල බඳුනක වටිනාකම රුපියල් දහඅට දහසක් විසිදාහක් අතර වන බවත් පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත මධුසංඛ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 36763 සමන්, පොලිස් කොස්තාපල් 51857 විපුල, 96121 ඒකනායක, 23891 දේශාන්, 34142 ජිනදාස, 92527 ප්‍රසාද් යන නිලධාරින් විසින් පවත්වනු ලබයි.

piththala

සමීර අබේසිංහ (බොරලැස්ගමුව)

Similar Posts