portest

නිසි කලට වේලාවට පොහොර ලබා දෙන ලෙසත් චීන කසල මෙරට රන් පොළවට නොදමන ලෙසත් බල කරමින් පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (19) පෙරවරුවේ පොලොන්නරුවේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35කට  ගොවීන් 2000ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.

පොලොන්නරුව මහ රෝහල හන්දියේ සිට පොලොන්නරුව දීප උයන දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි ගොවීන් එම ස්ථානයේ දී පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර් ගය අවහිර කරමින් පාරේ වාඩි වී පැය දෙකකට වැඩි වේලාවක් විරොධතා සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කළ හ.

මෙහි දී පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සහ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර් ති මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“ දැන් ඇමතිවරයා කියනවා නේ විරෝධතාවල ඉන්නේ අර පක්ෂේ අය මේ පක්ෂේ අය කියලා. දැන් මේ රැස් වෙලා විරෝධතාවට එකතු වෙලා ඉන්නේ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි ජනතාව. ආණ්ඩුව මේ මාස හයේ මොනවාද කළේ . දැන් මේ තීන්දුව අරන් මාස 6ක් ගිහින් තියෙනවා මොනවාද කළේ. පොහොර ටික තාම නෑ. මහින්දානන්ද ඇමතිවරයා මොනවද කීවේ. කාබනික දෙනවා කිව්වා. ගොවීන්ට හදා ගන්න බැරිනම් ආණ්ඩුවෙන් දෙනවා කිව්වා. දුන්නද? පස්සේ මොකද කීවේ  මෙහෙන් බැරිනම් රටින් ගේනවා කිව්වා. ගෙනාවද රටින් .දැන් කියනවා දැන් ගේන්න වෙලාවක් නෑ ලූ.

ලිතුවේනියාවෙන් ගේන්න වෙලාවක් තියෙනවාලු. දැන් නැනෝ තාක්ෂණයෙන් හදපු ඒවා ගේනවා. නැනෝ තාක්ෂණය හොයා ගත්ත විද්‍යාඥ‍යා කියනවා බල්ලෙක් මිරිකලා මිරිකලා පූසෙක් හැදුවෑකි කියලා. බල්ලාට වඩා පූසා වෙනස්. මේකෙන් හැදෙන්නේ වෙනස්ම එකක්. දැන් මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැහුවාම මොකද වෙන්නේ කියලා අපි දන්නේ නෑ. මේක ගෙන්නන අය දන්නේත් නෑ. දැන් මේ ගේන නැනෝ දියර පොහොර වගාවට යොදන්නේ කොහොමද කොච්චර ප්‍රමාණයක් ද? මේ ගැන තාම කිසිම කතාවක් නෑ. ඒකේ වගකීම ගන්න කෙනෙක් නෑ. ඒ වගකීම ගන්න කෙනෙක් ඉන්නවා ද කියලා ගොවියන්ට කියන්න ඕන. අස්වැන්න පාලු වුණොත් ගොවියාට වන්දි ගෙවන්නේ කොහොමද මේවා කියන්න ඕන. අක්කරයකට කීයක් ගෙවනවාද? අන්න එතකොට තමයි අපට සලකා බලන්න පුලුවන්.

දැන් ඔය අරක දෙනවා මේක දෙනවා කිව්වාට පසුගිය යලේ වගා හානි ටික තවම ගෙවලා නෑ. මාස්  කන්නයේ හානිය තියෙනවා. සේනා දළඹු හානිය තියෙනවා. මේ එකක්වත් ගෙවන්නේ නැතුව දැන් කියනවා වන්දි ගෙවනවාලු. අපිට මේවා විශ්වාස නෑ. දවස ගාණේ බොරු කියනවා. අපි ගොවියෝ විදිහට තවත් රැවටෙන්නේ නෑ. අපි ආණ්ඩුවට කියනවා බොරි දෙසාබෑවා ඇති. දැන්වත් ඇත්ත කියලා ගොවියාගේ ගොවිතැන ආරක්ෂා කර ගන්න කටයුතු කරන්න. දැන් පොහොර ගැන විතරයි කතාව. කොහොමද වල් මර් දනය කරන්නේ? කොහොමද කෘමි හානි මර් දනය කරන්නේ? තිබුණු තෙල් බෙහෙත් දැන් එකකට එකක් ගණන් ගිහිල්ලා. ජාවාරම් කාරයින් කොම්පැනි කාරයින් හිතූමතේ මිල වැඩි කරලා. හොර රහසේ විකුණනවා.කවුද මේවා ගැන හොයා බලන්නේ?  වහාම ආණ්ඩුව ගොවියාගේ වගාවන් රැක ගන්න නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනෑ.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

පැය 3 කට අධික කාලයක් පැවති විරෝධතා පෙළපාලිය හා විරෝධතාව නිසා හබරණ පොලොන්නරුව මාර් ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වූ අතර විරෝධතාවයෙන් පසු ගොවීන් සාමකාමීව විසිර ගියහ.

protest

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Similar Posts