amudya-manthree

මෙවර මහ කන්නයේ වී ගොවිතැන වෙනුවෙන් දියවර නිකුත් කර ඇතත් අවශ්‍ය රසායන පොහොර ගොවීන් හට ලබා දීමට පාලකයන්ගේ ඇස් ඇරේවායි කියමින් දේව කන්නලව්වක් සහ බත් දුන් පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව ඉදිරියට ගොස් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ (1දා) කුඩා විලච්චිය ගොවි ජනපදයේ ගොවින් පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර  නගරයේදී පැවැත් වුණි.

මහ විලච්චියේ සිටි අනුරාධපුර කදිරේෂන් හින්දු කෝවිලට පැමිණි මහවිලච්චිය ගොවි ජනපදයේ අමුඩයා මන්ත්‍රී ඇතුළු ගොවින් පිරිස දේව කන්නලව්ව සිදුකර පොල් ගැසීම සිදු කළහ.

අනතුරුව ගොවීන් පිරිස පා ගමනින් විරිඳු කියමින් අනුරාධපුර නගරයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය මහමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ පිළිරුව අසලට පැමිණ, නිදා සිටින පාලකයන්ගේ ඇස් ඇරවන්නට ඔබතුමා යළිත් වරක් පිං බිමට පහල වේවායි කියමින් ප්‍රාර්ථනා කරමින් පුෂ්පෝපහාර දැක්විය.

එහිදි අදහස් දැක්වූ විලච්චිය ප්‍රදේශයේ ගොවි මහතෙකු වන අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර (අමුඩයා මන්ත්‍රී)මහතා.අපි කරගෙන යන්නේ අපිට උරුම වෙලා තියෙන අපේ දෙමව්පියෝ පරම්පරාවෙන් කර ගෙන ආව ගොවිතැනයි.අපි ගොවිතැන් කරලා ජීවත් වන අතරතුර හිටපු ජනාධිපති දැන් අගමැති අනුරාධපුර කඩ දොළහේ දී එක් වතාවක් කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා.

ඊට පස්සේ කිව්වා පොහොර 350ට දෙනවා කියලා.හැබැයි 350ට පොහොර දුන්නා පස්සේ ඒ පොහොර වලින් ගොවිතැන් කරමින් පාඩුවේ ජීවත් වුණා. ගෝඨාභය මහත්තයා ඇවිත් කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා.

ඊට පස්සේ තමයි ගොවි ජනතාව ඇතුළු හැටනම ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ. මෙහෙම කරගෙන යනකොට එක පාරම රෑ 12ට රසායනික පොහොර තහනම් කරනවා.ඊට පස්සේ චීන මළ මුත්‍රා ගොඩක් ගෙනැල්ලා අපිට දෙනවා ඒවා යොදලා වගා කරන්න.

බැක්ටීරියා තියෙනවා කියලා එක නැවක් හරවලා යැවුවා. හිටපු කෘෂිකර්ම ඇමති අනුරාධපුර දිස්ත්‍රික්කයේ නායකයා දැන් කියනවා ගොවියට මේ පොහොර දෙන්නෙ අත්හදා බලන්න කියලා.

හත් දෙයියනේ  මේ ගොවියන්ගෙ  ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. ඇයි මේ ජීවින් ගොවි ජීවිත අත්හදා බලන්නේ ඉන්දියාවෙන් චීනෙන් අසූචි ගෙනැල්ල අත්හදා බලමින් ගොවියා අසරණ කරන්නේ ඇයි.

ඇලහැර බකමූණෙ ගොවි උපවාසයට දින නවයක් ගත වෙලා තාම කිසිදු මැති ඇමැති වරයෙක් මේ අයට විසඳුම් දීලා නැහැ .මේ වෙනකොට අපේ ගොවියෝ පාරවල් ගානේ උද්ඝෝෂණ කරනවා.මේ අප්පලාට කිසිම ගානක් නැහැ.

දරදඬු තීන්දු තීරණ අරගෙන ගොවියන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි කියනවා.මහකන්නයට මහවිලච්චිය වැවෙන් දියවර නිකුත් කරනවා.මේක නිකන් හරියට සබන් දීලා නාන්න වතුර දෙන්නෑ වගේ වැඩක්.

අපි ජය ශ්‍රී මහා බෝධීන් වැඩ සිටින මේ පින් බිමට ඇවිල්ලා කදිරේසන් හින්දු කෝවිලට ගිහිල්ලා පොල් ගහලා  ඩී එස් පිළිරුවට මල් තියලා ඉල්ලා සිටියේ බත් දුන් පියාණෙනි ඔබතුමා කොහේ හරි ජීවත් වෙලා ඉන්නවනම් අහිංසක ගොවියන්ගෙ දුක බලලා රෑට ගිහින් මේ අයගේ බොටුව මිරිකලා හරි ගොවීන්ට පොහොර ටික දෙන්න කියලා යැයි ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts