advanced level

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණි දක්වා අද (23) දිනයේ සිට විවෘත කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි.

ඒ අනුව අද දිනයේ සිට පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සඳහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, එක් එක් පාසල් වෙත ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි ප්‍රකාශ කළේ.

ඒ අනුව රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව ද, පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මීට පෙර ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000 /ක මූල්‍ය ප්‍රතිපාදන ද, 200 ට අඩු පාසල් සඳහා රුපියල් 10,000/ බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000/ බැගින්ද මේ යටතේ ප්‍රදානය කෙරේ.

දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක් ලෙස සලකා සියලු පාර්ශව සහය පළ කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.

කෙසේවෙතත් අද උදෑසන වන විට අප වාර්තාකරුවන් පවසා සිටියේ, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල දරුවන්ගේ පැමිණීම බොහෝ සෙයින් අඩු බවක් පෙන්වන බවයි.

පාසල් තුළට ඇතුළු වීමේ දී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, දෑත් පිරිසිදු කරන ස්ථානයන් සෑම පාසලකම පාහේ සකස් කර ඇති අතර, පන්ති කාමර තුළ ද දුරස්ථභාවයෙන් යුතුව දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකියාව සලස්වා ඇති බවද වාර්තා වනවා.

Similar Posts