school

පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ.

පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය.

ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් නිවසේ රැදී සිටි දරුවන් පාසල් ක්‍රියාකාරකම් සඳහා යළි යොමු කර ගැනීම හා ඔවුන් අධ්‍යාපන මානසිකත්වයක් කරා යහපත් අයුරින් නැඹුරුකර ගැනීම මෙහි අපේක්ෂාව යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ යටත් විදුහල්පතිවරුන්, ගුරුවර ගුරුවරියන්ගේ හා දෙමාපියන්ගේ දායකත්වය  අපේක්ෂා කරන බව ද ආණ්ඩුකාරවරයා කීහ.

දරු දැරියන් දෙසීයට අඩු මධ්‍යම පළාතේ ප්‍රාථමික පාසල් 805ක් මෙම මස 21 වන දින අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විවෘත කරන බව ද ඒ මහතා  ප්‍රකාශ කළේය.

එදිනට නිල ඇදුම් භාවිතය අත්‍යවශ්‍ය නොවන බව කී ආණ්ඩුකාරවරයා, හැකි අයුරින් පාසල් වෙත කැඳවා, පාසල් මානසිකත්වයට දරුවන් යොමු කිරීම පමණක් මෙම විවෘත කිරීම මගින් අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළහ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts