keheliya

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය.

පුරවැසියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී අවධාරණය කළේය.

ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතින් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම එහිදී පැවසීය. අසාධාරණ මඩ ගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අදාළ සංශෝධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවට යොමු කිරීම ඉතා පහසු වන බව මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. පනතක් එවැනි තාක්ෂණික කමිටුවකට යොමු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය ආයතනවලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ද මෙහිදී අවධාරණය කළේය. සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරනු ලබන හානිය සුවිශාල බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි නාලිකාව මඟින් පාර්ලිමේන්තු සභාවාර විකාශය කිරීම නැවත ආරම්භ කරනු ලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා විය. ජනමාධ්‍යට සම්බන්ධ පාර්ශ්ව වෘත්තීයවේදීන් ලෙස පිළිගැනීම, ජනමාධ්‍යවේදීන් සඳහා අවම වැටුප් ක්‍රමයක් සැකසීම, ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරීන් ඊට අදාළ රැකියා සඳහා යොමු කිරීම, ජනමාධ්‍ය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසල් සඳහා පත් කිරීම වැනි කාරණා පිළිබදවද කාරක සභාවේ අවධානය යොමු විය.

රාජ්‍ය නාලිකාවල ප්‍රමිතිය ඇති කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාරක සභාවේ අවධානය යොමු කළේය.

ස්වාධීන රූපවාහිනී සේවයට වසර 04ක් තුළ සභාපතිවරුන් 06 දෙනකු පත් කර තිබෙන බවත් 2014 වන විට එම නාලිකාව සමීක්ෂණ වාර්තාවලට අනුව අංක එකේ පසු වූ බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වූ බවත්, වසර 02ක් තුළ එම ආයතන ලාබ ලබන මට්ටමට නැවත පත් කරන බවත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ජනමාධ්‍යවේදින්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව දීම සහ මාධ්‍ය උපකරණ ගැනීම වෙනුවෙන් සහනදායී ණය දෙන බවත්, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුබසාධන වැඩකටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කාරක සභාව තුළදී දේශපාලන තීන්දු ගැනීමට සූදානම් නැති බව කී ඒ මහතා, සියලු පාර්ශ්ව සමඟ සාකච්ජා කර පොදු තීරණ ගැනීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මෙහිදී පැවසුවේ ප්‍රවෘත්ති සඳහා භාවිත කරන භාෂාවේ ප්‍රමිතිය සම්බන්ධව සොයා බැලිය යුතු බවයි. ඒ සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම ආරම්භ කරන බවත්, සදාචාරාත්මක මාධ්‍යවේදය ඉගැන්වීම සඳහා ජනමාධ්‍ය විද්‍යාලයක් ලබන වසරේදී ආරම්භ කරන බවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

dinamina

Similar Posts