බොරලැස්ගමුව පොලිස් වසමේ 03 වැනි පටුමග, එගොඩවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක ගෙන් බිරිඳට කොරෝනා වැළඳීමෙන් අනතුරුව ඇයව නිවසේ නිදි යහන මතදී ඝාතනයට ලක්කර තම බිරිඳ කොවිඩ් 19 රෝගයෙන් මිය ගියේ යැයි පවසමින් අනියම් බිරිඳක් සමග දීග කෑමට සැරසුණු ව්‍යාපාරික පුද්ගලයෙක් ඝාතනයට යොදාගත් කොට්ට සහ ඇඳ ඇතිරිලි සමග අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවකි.

මෙම යුවළට වයස අවුරුදු 13ක පුත්‍රයෙක් සහ වයස අවුරුදු 06ක දියණියක් සිටින බවත් පොලිසිය පවසයි.

මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස (15) වන දින රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව නිවසේ වාහනයෙන්ම දකුණු කොළඹ ශීක්ෂණ (කලුබෝවිල) රෝහල කරා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

රෝගියා රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර්  පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා ඇත. ඉන්පසුව සිදු කළ  පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය පවසයි.

තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම  රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ  කොලරයෙන් නොපෙනෙන අයුරින් වසා ගැනීමට උත්සාහ දැරීම නිසා සැක සිතුනු බවත්  (17) වන දින සවස බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත පැමිණි මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා විසින් මෙම මරණය පිළිබඳව සැකයක් ඇති බවට පැමිණිලි කර ඇත.

අනුව ඒ පිළිබඳව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැන්වීමෙන් අනතුරුව මියගිය කාන්තාව පදිංචිව සිටි නිවස ස්ථානික පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් පරීක්ෂණයකට ලක්කර මියගිය කාන්තාවගේ දේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බැවින් එම රෝහල අයත් අධිකරණ බල ප්‍රදේශය වන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර  අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත මෙම දේහය යොමුකර පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කර ඇත.

ඉන්පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මරණය පිළිබඳව කරුණු දැක්වීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ඒ.සී.එල් ධර්මතිලක මහතාගෙන් ලැබුණු නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට දේහය යොමු කළ බවත් පොලීසිය පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එම් සම්පත් සේනතුංග මහතා විසින් ලබාදී ඇති මම පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙම මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මෙම මරණය සිදුව ඇති බවට පරීක්ෂණය කොට තහවුරු කර වාර්තාවක් ලබා දී ඇති බවත් පොලිසිය පැවසීය.

ඉන් පසුව මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රශ්න කර නමුත් සැමියා විසින් මෙම මරණය වසන් කිරීම සඳහ පිළිතුරු ලබා දුන් බවත් පොලිසිය පවසයි.

නැවත වරක් ඊට පසු දින සැමියා පමණක් පොලිසියට කැඳවා දිගින් දිගට සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔහු විසින් මෙම ඝාතනය සිදුකළ බවට පිළිගත් බවත් පොලිසිය පවසයි.

තම බිරිඳට කොරෝනා රෝගය වැළඳී සිටීම හේතුවෙන් මෙලෙස ඝාතනය කිරීමේදී කිසිවෙකුටත් නොහැඟෙන පරිදි කොවිඩ් රෝගයෙන් මියගිය බවට ඒත්තු ගැන්වීම සඳහා මරණය සිදු කළ බවද සැකකරු පාපොච්චාරණය කර ඇති බවත් පොලිසිය පවසයි.

බිරිඳ ඝාතනයට පෙර මල් ශාලාවකට දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා මුදල් පවා ගෙවා ඇති බවත් බිරිඳ රෝහල්ගත කර ඇති අවස්ථාවේ තම ව්‍යාපාර කටයුතු නොනවත්වා පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වි ඇත..

මියගිය කාන්තාවට තමන් පදිංචිව සිටින නිවාස සහ දේපළ සියල්ල අයිති බැවින් ඒවා අයිති කරගැනීම සඳහා සහ කාන්තාවක් සමග අනියම්  සම්බන්ධතාවයක් පවත්වන බැවින් ඇය විවාහ කර ගැනීම සඳහා මෙම ඝාතනය සැලසුම් කොට සිදු කළ බවත් ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පවසයි.

සැකකරු (47)වැනි වියේ පසුවන වාහන අමතර කොටස් විකිනීමේ ආයතනක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවත් මෙම ඝාතනය වසන් කිරීම සඳහා බිරිඳ මිය ගොස් සිටි ඇඳහි තිබූ ඇඳ ඇතිරිලි සහ කොට්ට මෙට්ට සියල්ල පුළුස්සා දමා තිබූ බවත් සිදුකළ මූලික පරීක්ෂණවලදි පරීක්ෂණවලදී අනාවරණය වි ඇත.

සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් පසුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී සැප්තැම්බර් මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරිය වන බෝගහදෙනිය මහත්මිය විසින් නියෝග ලබා දුන් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රූපසිංහ යන මහත්වරුන් ගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  ජනිත මධුසංඛ මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් 36763 සමන්,  51857 විපුල, පොලිස් කොස්තාපල් 68832 අමරසිංහ,  94121 ඒකනායක, 92525 මාලන්,  96878 වීරසිංහ,  34142 ජිනදාස,   92527 ප්‍රසාද් කාන්තා පොලිස් කොස්තාපල් 11853 ඒකනායක යන  නිලධාරීන් විසින් සිදුකරනු ලබයි

සමීර අබේසිංහ

Similar Posts