වර්ෂ 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදා වූයේ අඳුරු කාලයකි. විශේෂයෙන් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව වසර ගණනාවකට අහිමි ව යන ලදී.

කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගන වෙත යොමු කෙරිණි. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමටද පාකිස්තානයෙන් ඩුබායි හා අබුඩාබි වෙත ගමන් කිරීමට සිදු විය.

මෙම තත්වය ආපසු හරවාගෙන යළි ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පැමිණෙන තත්වයක් නිර්මාණය කර ගැනීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට මෙන්ම රජයටද ඉතා විශාල වෙහෙසක් දැරීමට සිදු විය. ඔවුන්ට කෙසේ හෝ වර්ෂ 2015දී සිම්බාබ්වේ සමග තරගාවලියක් සංවිධානය කර ගැනීමට හැකි විය. ලෝක කණ්ඩායමක් සමගද තරගයක් වර්ෂ 2017දී සංවිධානය විය. මේ සියලු දේ සිදු කලද තත්වය යහපත් නොවුණි. වර්ෂ 2017දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් එක්දින හා 20-20 තරගාවලියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සංවිධෘනය කර තිබුණි. මෙහිදී පාකිස්තානය ශ්‍රී ලංකාවට යෝජනා කළේ එක් 20-20 තරගයක් හෝ පාකිස්තානයේ දී ක්‍රීඩා කිරීමට පැමිණෙන ලෙසයි. එම යෝජනාව පිළිගත් ශ්‍රී ලංකාව පාකිස්තානයට සහයක් වීමට එක් තරගයකට සහභාගීවීමට පාකිස්තානය බලා පිටත්ව ගියහ.

නැවතත් මෙවරද තරගාවලියක් සඳහාම සිය රටට පැමිණෙන ලෙස පාකිස්තානය ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබුණි. පාකිස්තානයට සහයෝගයක් වෙමින් එකී ඉල්ලීමද පිළීගත් ශ්‍රී ලංකාව පාකිස්තානයේදී ක්‍රීඩා කිරීමට එකග විය. ඒ අනුව සැලකිය යුතු කාල සීමාවක් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ රැඳී සිටි අතර එහිදී එක්දින තරග තුනකට හා 20-20 තරග තුනකට සහභාගී විය. එක් දින තරගාවලිය සම්පූර්ණයෙන්ම පරාජය වූ ශ්‍රී ලංකා කණෟඩායම 20-20තරග සියල්ල ජය ගැනීමට සමත් විය. ආරක්ෂක හේතූන් මත ප්‍රබල ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මෙම තරගාවලියට සහභාගී නොවූ වටපිටාවක මෙම ජයග්‍රහණය ඉතා වැදගත් වෙයි.

ජය පරාජය කෙසේ වෙතත් මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවීමෙන් වැඩියෙන්ම සතුටට පත් වූයේ පාකිස්තාන ක්‍රිකට් ලොලීන්ය. ඔවුන් ශ්‍රී ලංකා ධජ රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දක්වනු දැකිය හැකි විය. ඒ සම්බන්ධයෙන් තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා 20-20 නායක දසුන් ශානකද ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකා පුහුණුකරු රැමේශ් රත්නායකද තරගය අවසානයේ පැවසුවේ ලබා දී තිබූ ආරක්ෂාව පිළීබඳ සතුටු වන බවත් එය ඉතා ඉහළ මට්ටමේ එකක් බවයි. එමෙන්ම මෙම තරගාවලිය ක්‍රිකට් ලෝකයටම පණිවිඩයක් ලබා දෙනු ඇති බවත් තවත් කණ්ඩායම් පාකිස්තානයට පැමැණෙනු රුමේශ් රත්නායක මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවද මේ ආකාරයට ත්‍රස්තවාදී අරගලයකින් පීඩා විඳි සමයේදී පාකිස්තානයද ශ්‍රී ලංකාවට මේ ආකාරයටම සහයෝගය දක්වන ලදී. 1996 ලෝක කුසාලනයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග සඳහා ආරක්ෂක හේතූන් මත පැමිණීමට නොහැකි  ඕස්ට්‍රේලියානු හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පවසද්දී ඉන්දියානු හා පාකිස්තාන ක්‍රීඩකයන් ඒකාබද්ධව සාදන ලද කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ආරක්ෂාව ඇති බවට තහවුරු කරන ලදී. ඒ සඳහා නායකත්වය ගත්තේ ඉන්දියානු නායක මොහොමඩ් අසාරුදීන් හා පාකිස්තාන නායක වසීම් අක්‍රම්ය. 1996 ලෝක කුසාලනය දිනා ගත් පසු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මුලින්ම ස්තූති කලේ එම දෙපළටයි. එම ලෝක කුසාලනයේ තරග අවලංගු නොකර පැවැත්වීමට අයිසීසීයට සිදු ළුූයේ ඉන්දියානු හා පාකිස්තාන ක්‍රීඩකයන්ගේ මෙම මැදිහත් වීම නිසාය.

 

Similar Posts