ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව කොරෝනා  සඳහා බෙහෙතක් සොයා ගැනීමට පරීක්ෂණ කරමින් සිටියද ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් ඒ පරීක්ෂණ සඳහා කිසිදු සහයක් ලබාදී නැතැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බියගම දී පැවසීය .

රුපියල් මිලියන 900ක් වැයකර ඉදිකෙරෙන සිංහ සංවත්සර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුල්ගල් තැබීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ආයෝජන මණ්ඩලය සතුව තිබූ මෙම ඉඩම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී අදාළ ව්‍යාපෘතිය සඳහා සිංහ සමාජයට ලබා දී තිබේ. මුල්ගල් තැබීමේ අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

කොරෝනා වසංගතය නිසා මෙහි විවෘත කිරීමේ කටයුතු දෙතුන් වතාවක්ම කල් දමන්නට සිදු වුණා. කොරෝනා වසංගතයේ පැතිරීම  අද රටට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. කොළඹ ප්‍රදේශ රැසක මේ වසංගතය ව්‍යාප්ත වී ගොස් තිබෙනවා. ඒ නිසා අප ප්‍රවේශමෙන් වැඩ කටයුතු කළ යුතුයි .

ලැබී ඇති වාර්තා අනුව නැවත කොරෝනා  වටයක් පැමිණීමට නියමිතයි. ඇමරිකාවේ එලෙස ඇතිවී තිබෙනවා. එංගලන්තයේ ලන්ඩන් නුවර වසන්නට යනවා. යුරෝපය ,ජපානය, චීනය, කොරියාව වැනි රටවල පවා නැවත මේ වසංගත තත්ත්වය ඇතිවෙමින් තිබෙනවා. බොහෝ ක්‍රිස්තියානි රටවල නත්තල් උත්සව සැමරීම පවා තහනම් කර තිබෙනවා.

ලබන වසර මුලදී තව කොරෝනා  වටයක් එරට ඇති වනු ඇතැයි එංගලන්තය පවසා තිබෙනවා. එංගලන්ත ආණ්ඩුව නත්තල් සීයා පවා තහනම් කර ඇතැයි එරට පුවත්පතක පළ කොට තිබුණා. නත්තලේ දී වුවත්  හතර දෙනකුට වඩා එකට හමු වන්නට එපා යැයි සීමා පනවා තිබෙනවා .

මේ වසංගතය තවමත් අවසන් වී නැහැ. අප මේ ගැන සත්‍ය කතා කළ යුතුයි. නිලධාරීන් ද නොයෙක් කතා කියමින් සිටිනවා. අප රට වහන්න යනවා යැයි එක් නිලධාරියෙක් කියනවා .රට අරිනවා යැයි තවත් නිලධාරියෙක් කියනවා .

වන්නේ කුමක්දැයි රටේ ජනතාවට කිසිම අදහසක් නැහැ. රට වැසිය යුතු නම් ඒ බව ජනතාවට කියන්න. එවිට ජනතාවට ඒ සඳහා සූදානම් වීමට හැකියාව ලැබෙනවා. කොන්දේසි අනුව රට අරිනවා නම් ඒ බවත් කියන්න. විටින් විට  තීරණ මාරුකොට විශ්වාසය නැති කරන්න එපා.

කොරෝනා  රැල්ල තවමත් අවසන් වී නැහැ. තවත් කාලයක් මෙය පැවතිය හැකියි .ඒ සඳහා අප සූදානම් විය යුතුව තිබෙනවා .ලෝකයේ ආයතන රැසක් එන්නත් සොයා ගෙන ඇති බව කියනවා. නමුත් තවමත් ඒවා තිබෙන්නේ අත්හදාබැලීමේ මට්ටමේ. එංගලන්තය එන්නතක් භාවිතා කොට පළමු දිනයේ දී එරට දෙදෙනෙක්ට අසනීප වුණා. එන්නත ලබා ගැනීමෙන් පසු පැය භාගයක් අදාල ස්ථානයේ ම සිටින ලෙස ඒ නිසා දන්වා තිබෙනවා.

මේ එන්නත් ලබාගෙන ආණ්ඩුව විසින් නොමිලේ ලබා දුන්නත් මිලදී ගන්නට සිදුවුනත් කොරෝනා වසංගතය එතැනින් නතර වේ යැයි සිතන්නට බැහැ. මේවා සාර්ථකද නැද්ද කියා දැනගැනීමට තව වසර දෙක තුනක්වත් ගත කිරීමට සිදු වෙනවා. ලෝකයේ බිලියන ගණනකට එන්නත ලබාදිය යුතුව තිබෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි එන්නතක් නිෂ්පාදනය කරමින් සිටිනවා .මේ එන්නත් ලබා ගැනීමේදී අපේ දේශගුණය සමඟ සැසඳීමක් ද කළ යුතුව තිබෙනවා. චීනයත් එන්නතක් නිෂ්පාදනය කර තිබෙනවා. නමුත් එම බෙහෙත ආරක්ෂාකාරීව තබා ගන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් තිබෙනවා .

ෆයිසර් සමාගමෙන් නිෂ්පාදනය කරන එන්නත ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම ශීතකරණ පහසුකම් අවශ්‍යයි .ශීතකරණයේ මිල පවුම් පන්දහසක් පමණ වෙනවා.

එහි එකවර ගබඩා කළ හැක්කේ එන්නත් දහසක් පමණයි. මෙවැනි දුෂ්කරතා නැති එන්නතක් ලබා ගත හැකි දැයි සොයා බැලිය යුතුව තිබෙනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. දැනට ලබා දිය හැකිව ඇත්තේ සහතික කළ බෙහෙත් පමණයි.

එසේ නැති බෙහෙත් පාවිච්චි කිරීමෙන් ඇති පලක් නැහැ. ඉන්දියාවේ දේශීය ඖෂධ පිළිබඳව පර්යේෂණ කරනවා .නමුත් තවමත් දේශීය ඖෂධයක් නිෂ්පාදනය  කර නැහැ.

අද ලංකාවේ සිදුවී ඇත්තේ කුමක්ද? විවිධ ඖෂධ ගන්නවා. පැණි ගන්නවා .පෙති ගන්නවා. අවසානයේ මොනවා වෙයිද දන්නෙ නැහැ .හැමදෙනාම මෙය කරනවා. එදා වද කහ සුදිය ගැන පැරණි අයට මතකයක් ඇති.එදා ලංකාවට “හරිම ලෙඩක් බෝ වුණා “යැයි සිංදුවකුත් හැදුවා.

එදා සූර්යග්‍රහණයක් ඇති වුණා. සූර්යග්‍රහණය වූ දිනයේ කළුවර වූ සැණින් වද කහ සුදිය පානය කළහොත් තරුණ වන බවත්, සුදු වන බවත් පුවත්පත්වල පළ කළා. බොහෝ කාන්තාවන් මෙය අනුගමනය කොට පානය කළා. ඇතැම් පිරිමි අයත් එය පාවිච්චි කළා.

සූර්යග්‍රහනය සිදු වූයේ උදේ වරුවේයි. හැන්දෑ වනවිට වද කහ පානය කළ සියලුම දෙනට වමනය බඩ යෑම වැනි රෝග ලක්ෂණ පහළ වුණා. මේ රෝගීන්ගෙන් රෝහල් පිරී ගියා.

ඔවුන්ට ප්‍රතිකාර කිරීමට වෙනම පිරිසක් යොදවන්නත් සිදුවුණා. එවක සිටි අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා වද කහ සුදිය පාවිච්චි නොකළ බව මා අවධාරණයෙන් කිව යුතුයි. එතුමා කළේ මේ අසත්‍ය ප්‍රචාරය කළ පුද්ගලයාට විරුද්ධව නඩු පැවරීමයි.

කතාව ප්‍රචාරය කළ පුද්ගලයන් නඩුවෙන් බේරුනා.” මා කිව්වේ තේ හැන්දක් ගන්න කියලයි නමුත් මේ අය කෝප්පයක් බී තිබෙනවා” යැයි අදාළ පුද්ගලයා නඩුවේදී පැවසුවා.

දැන් ලංකාවේ ඊට වඩා වෙනස් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අතීතයේදී වද කහ සුදිය පානය කිරීම පිළිබඳව ඇත්ත කියන්නැයි ඉල්ලා  එමලි ට සින්දු හැදුවා. මෙදා අපට ආණ්ඩුවෙන් එලෙස  ඉල්ලීමට සිදුවී තිබෙනවා. එසේ නැතිනම් අපට හරි ප්‍රශ්න ඇති වෙනවා.

නොදන්නා දෙයක්  ඇමතිවරුන් සමාජයට පණිවිඩයක් දෙන්නට යාම වැරදියි .එසේ වුවහොත්  මෙය විහිළුවක් බවට පත් වෙනවා .අඩු ගණනේ අප භාවිතා කළ යුතුව ඇත්තේ ලංකාවේ ඖෂධ පාලන අධිකාරිය අනුමත කළ බෙහෙතක් පමණයි.

අපට මේ බෙහෙත ගැන සොයන්නට පරීක්ෂණ කණ්ඩායම් ලංකාවේ සිටිනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු මර්දන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ එකතුවී සිදු කෙරෙනවා.

අපේ ආණ්ඩුව මොකුත් කරන්නේ නැහැ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ද එම පරීක්ෂණවලට ආධාර ලබා දී තිබෙනවා .බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඒ පිළිබඳව සොයා බැලීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දෙතුන් පාරක් ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මා සමග පෞද්ගලිකව ම ඒ බව සඳහන් කළා. දැන් තිබෙන්නේ එවැනි තත්ත්වයක්. අපෙන් එහි ගියේ කවුද ?ඇමතිතුමිය ගියාද ?නමුත් ඒ අය එන්ජින් ඔයිල් බොන්න නම් දක්ෂයන් බව පෙනෙනවා.

එමෙන්ම කොරෝනා සඳහා ඔක්ස්ෆර්ඩ් පර්යේෂණයේ ප්‍රධානියා ගේ දෙමාපියන් ලංකාවෙි .ඔවුන් ඉගෙනුම ලැබූවේත් මා සමඟයි. රන්ජන්  රාමසාමි එතුමාගේ පියා යි. ලංකාවේ ප්‍රථම වරට සෑම  විෂයකටම විශිෂ්ට සාමාර්ථ ලබා ගත්තේ එතුමායි .

ඒ අය සමග සම්බන්ධ නොවන්නේ ඇයි ?කළ යුතුදේ නොකර එන්ජින් ඔයිල් පානය කිරීමෙන් අවසානයේ සිදුවන්නේ කුමක්ද ?

මේ වසංගතය ලෝකයේ දරුණු තත්වයක් .ඇමරිකාවේ තුන් දහසක් පමණ දිනකට මිය යනවා. එංගලන්තයේ තත්ත්වය භයානක වෙමින් තිබෙනවා. එහි පාසල් විවෘත කළ නිසා පැතිරුණු බව සමහරුන් පැවසුවා.

මෙවැනි තත්ත්වයක් යටතේ අප සියලුම දෙනා වගකීමකින් කටයුතු කළ යුතුයි. “එමලි “වගේම ආණ්ඩුවත් ඇත්ත කිව යුතු යැයි අප කියනවා. එසේ නැතිනම් මේ වැඩ කටයුතු කිරීම අසීරුවට පත් වෙනවා.

මෙම අවස්ථාවට සිංහ සමාජ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Similar Posts