විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී  ප්‍රවෘත්ති සාකච්ඡාවක්  පවත්වනු ලැබුවා.

එහිදී ඔවුන් ක්‍රියාකාරී සැලැස්මක් ද ජනගත කිරීමට කටයුතු කළා.

ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජය වහාම ඉල්ලා අස්වීම මෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙලක් සැකසීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඊට අයත්.

‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’

“අංක එක.. ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. අංක දෙක. රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතුය.”

“කැබිනට්, කැබිනට් නොවන සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, සංස්ථා සභාපතිවරු, තානාපතිවරු ඉල්ලා අස්විය යුතුය.”

“අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය. මහජන කවුන්සියලයක් බිහිකළ යුතුය. ජනතාවට කෙටිකාලීන ක්ෂණික සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.”

“ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම. ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කිරීම.”

“අත්අඩංගුවේ පසුවෙන සියලු අරගලකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීම.”

“හොරාකන ලද මුදල් හා දේපළ නැවත රජයට පවරා ගැනීම සඳහා දඬුවම් කිරීම. ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කිරීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.”

“අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර එලෙස ගොඩනැගෙන අන්තර්කාලීන පාලනය ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවකට යටත්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මගින් අවසන් වියයුතුය.”

Similar Posts