kama

ලංකාවේ පක්ෂ විපක්ෂ මහජන මන්ත්‍රිවරුන්ට නම් කෑම වූ කළි අමුත්තක් නැත.දියවන්නා හෝටලයේ කෑම,වරායේ කෑම,හිරගෙදර කෑම රසවත්ය මා මිතුරු රංජන් රාමනායකට නම් හිරි ගෙදර කෑම අදට ද අමතක වන්නේ නැත. රජ ගෙදර,සිටු ගෙදර,දුගි පැලේ කෑම ද,මළ ගෙදර කෑම ද ගැන ලියන්ට,කියන්නට,දොඩන්නට හැකිය.

අපේ රටේ මැති ඇමති ගොවියන්ට ඇත්තටම කෑම නම් ඉතිං අමු වෙන් ද කිරට, මිරිසට,තෙලට ද මේ ඇත්තන්ට කන්නට හැකිය. ලංකාවේ නම් ඉතිං තලගොයි කඹරගොයි කතාව අගනේ ය.හේනේ කුෂුරේ දී වෑදන් කෑම රසවත්ය.කරවල වාඩියේ කෑම රසවත්ය.

රට පාලනය කළ නොකළ කරන්නට මාන බලන මැති ඇමති ඇත්තෝ මේ ඇත්තෝ නිදහසින් පසුව රටම කාපු නිසා අද ඉතිරිව ඇත්තේ ලංකාවේ නැට්ටක් තරම් වු ඩිංගිත්තකි.බල්ලන් දෙදෙනෙක් සපා කෑ ගසමින් කා ගන්නා විට අවසානයේ ඉතිරි වුයේ නැටි දෙක බව අපේ ආත්තම්මා දොඩනවා මට නම් අදට ද මතකය.රටට,ජාතියට,ආගමට,සංස්කෘතියට මුවා වෙලා කන කෑම ජනතාවට හරි හැටි තේරෙන්නේ නැත.සුනාමි,කොරෝනාවලට මුවා වී කන කෑම ද අද සමහරු නොදන්නවාට රටේ ජනතාව දනිති.දුක කෑම අපට නම් අරුමයක් නොවේ.බැරැක්කේ කෑමද,කඳවුරේ කෑමද,නිරෝධායෙන කඳවුරේ කෑමද අගනේය.මහ මෙරක් කෑ ඒකාට අග්ගලාව මොන කච්චක්ද කියා කතාවක්ද තිබේ.

88,89 කාලවල දී මව්බිම නැතිනම් මරණය කිය කියා කෑ ගසා ටයර් සෑයේ ගියෝ ය.ඒ කෑම ටයර් සෑයේ කෑමයි.හමුදාවේ කෑම ද කෑ බව අදට ද මතකය.ඒවන් යුගයකට රට කැන්දාගෙන යනවාය කියා අපේ කාලයේ සමහරු මේ දිනවල කියති. ඒ්ය වෙනම කතාවකි.ප්‍රජාතන්ත්‍රවාදයේ කෑම, හදිස් නිතීයේ මගින් ලබා දෙන කෑම අරගලයේ සෙට් ඒක කනවාය කියා කියති. අරගලයට පහර දුන් නිසා කෝප වු පිරිසක් මැති ඇමති මන්දිරවලට ගොස් විනාශ කර දැන් මන්දිර කැඩුවාය කියන කෑම කන බවක්ද පෙනේ.

වීදි කෑම කෑම නැති නම් වීථී කෑම ද මහ පාරෙන් මිල දී ගත හැකිය.කුණු කෑම වෙළෙද පොලේ විකුණන්නට තිබේ.රුපියල් පන්දාහහේ කොරොනා මුදල,රුපියල් දස දහසේ කෑම මල්ල ද අසරණ වු අපේ රටපුරා ඈයෝ නැති බැරිකමට කන්නේ කරන්නට දෙයක් නැති නිසාය.ජනතාව ලෙව කන වාය අපි කන හැටි ලිප දනී යයි අද කාලයේ ජනතාව මැසිවිලි නගිති.

‍හිටන් රජුගේ පාලන කාලයේ මහ බැංකුව කෑවා අපට මතකය.අපි ඒ කෑම පිළිබඳව දන්නේ කාලා අහක් (අවසන්) වු පසුවයි.කොපා කමිටුවේ දී පසුව අනාවරණය වුයේ ඒ මේ රජුන් කාලයේත් මහ බැංකුව දවල්ද රැයේද හොරා කා ඇති බවය.හොරා කෑ ඈයෝ අල්ලනවාය කයති. නමුත් අල්ලන පාටක් පෙනෙන්නට නැත.

සහරාන් උතුමාණෝ දුන්නු කෑම ඉතිහාස ගත වේ. බබාකරන්ට ද එහා ගිය කෑම රාජපක්ෂ රජු නවතා දැමුවේ නැති නම් ඇත්තටම අපි තවමත් බබා කරන් කෑම කනවාය.ඒ කෑම නතර කරන්ට ජනතාව ආරක්ෂක අංශ ද කැපවීමක් කල බවද නිකමට මතක් කළ යුතුව ඇත.වහ කන්නට තරම් මේ රටේ පාලකයෝ ජනතා මං මුලා කරලා කියා කතාවක් ඇත.

නියගලා කැවොත් වළේය.අත්තන ඇට කනවාය කියනවා.කුම්බලා මාළු කෑවොත් දුක විදපන් බලලෝ කීවා යැයි කියමනක් ඇත.විකුනන් කෑම, සිගා කෑම අද කලාවකි.ජීවිතය කියා දෙන හොඳම තුන්දෙනා වන්නේ බඩ ගින්න,හිස් වු සාක්කුව,රිදුනු සිත යැයි කියමනක් තිබේ. ළමා මන්ද‌පෝෂණයෙන් ලංකාව ලොකයේ හයවන නැත හිමිකරගෙන සිටිති.දකුණු ආසියාවේ නම් දෙවන ස්ථානය දිනා ගන්නට අපි වාසනාව වන්තයෝ වීමු. ළමු තැන හමිවන දිනය නම් වැඩි ඈතක නොවේ.

රාජපක්ෂ පවුල් සමාගමේ කෑ මක් ගැන ද සමහර දේශපාලන පක්ෂ හා ජබ්බෝ සීණු සහෝදරයෝ ද නිතරම කියති.පැනගිය ගෝඨා රජතුමාද යම් යම් දේ කා ඇති බවට කතාවක් තිබේ. ඒව්වා කෑම කතාය.

කෑම බනිස් කෑම අවුරුදු කාලයට කන කෑමයි.ඒය ජන ක්‍රීඩාවකි.බඩ පුරා කෑමට අද ජනතාවට නොහැකිය. නුමුත් සමහර පොලිසි නිලධාරින් බඩ පුරා සමහර හාදයන්ට කන්න දෙන හැටි අපිට දැක ගත හැකිය.අරගල කරුවන්ටද පසුගිය දොහේ කන්න දුන් ආකාරය රටම නොව ලොවටම දැක ගත හැකිය.

කට පරිසම් කරගෙන කෑම කන්නට වෙද ඇත්තෝ උපදෙස් දෙති. වන්නිලා ඇත්තෝ තම් කන්නේ නැත.ඒ ඇත්තෝ දොඩන්නේ මේකට කොටා බානවාය කියාලාය.අපේ පන්සල් වල හිමිවරු වළදනවාය.

සමහරු ඉල්ලං කෑමට දක්ෂයෝ ය.පසුගිය කාලයේ කොරෝනාවලට හරියට පරිසම් නැති අයලුවන්ට හමුදාවෙන් පොලිසියෙන් ඉල්ලන් කන්නට සිදු වේ. ගමේ නගරයේ ජණ්ඩි පාට් දමන අයට ද මේ කෑම නොමිලයේම ලබාගත හැකිය.

මළකඩ කෑම ලොව පුරා මෙන්ම රට පුරා ද සදාතනික කෑමකි.ඇම කෑම මාළුන්ට විතරක් දොඩන කටයුත්තක් නොවේ. දෙපානෝ වන අපිද සුද්දාගේ කාලයේ සිටම ඇම කා ඇති ව මතක් කළ යුතුව ඇත.චන්ද කාලයේ ගුටි කෑම,පොරොන්දු කෑම අපටනම් අමුත්තක් නොවේ.

බඩ පුරා කෑම චණ්ඩි නොණ්ඩි වන තරමටම ලංකාවේ ජනප්‍රිය වුවකි.ඇඳගෙන කෑම ගැන කිසිවත් දොඩන්නේ නැත.මගුල් කෑම පොත කියවු පිරිස සීමිත බව දනිමු.හතර අතට ණය වි මගුල් කන පිරිස් ද ලංකාවේ නැතුවා නොවේ.

මංගල කෑම අද හුගාරියක් දෙනා කන්නේ ගෙදර නොව ලූවට හෝටලකය.කැවුම් කෑම රසවත්ය.කැවුම් වර්ග 18ක් තිබෙන නිසා සමහරු කියන්නේ ඒක නම් කැවුම් කනවා වාගේ රසවත් බවය.සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි විජාතිකයෝ අපට සරදමට පවසන්නට ඇත්තේ සමහර නෝංජල් සිංහලයන් නිසා මිස තොපි අපි වගේ ඈයොන්ට නම් නොවන බව තොපිට මතක් කර දිය යුතුව ඇත.

දියමලං කෑම දියෙහි සිදුවන බව අපි දනිමු.ඉහගෙන කෑමට නම් සිංහලයෝ අති දක්ෂයෝ ය.හිඟා කෑම රස්සාවකි. රට කරවු සියලුම පාලකයෝ පිටරට වලින් සිඟා කන බව නම් රස රහසකි.කෙසේ වෙතත් ඇත්තම සිඟන්නෝ අපි වෙමු. සිඟන සංස්කෘතියක් පිළිබඳව සරසවියේ දී කතා රැසකි.රැඟ කෑම ද සත්තකින්ම ආතල්ය.

කජු කෑම,ගිරවුන්ට සීමා නොවේ.සමහරු දේශන වලට එන්නේ නැති උනත්,පාසලේ අමතර පත්තිවලට යන්නේ නැති උනත් සරසවි සඟයෝ මෙන්ම ස්කෝල බබාලා දොඩංනේ මට නම් එව්වා කජු කනවා වාගේ කියා ය.කජු ගමේ කෙල්ලෝ නම් සහේට ගන්නට අගනා වු රුවැත්තියෝ ය.

උලෑ කෑම හරක්ට ම යොමු කරන්ට ලබා දෙන්නට සමහරක් මානවයෝ කැමති නැත.උලා කෑම අපේ ජාතික සිරිතකි.උයාගෙන කෑම වෙනුවට කඩෙන් කනවාය.අමුවෙන් කෑම,ගමේ කෑම නගරයේ කෑම,රස කෑම,එළවලු කෑම මතක් කළ යුතුව තිබේ.

චූන් පාන් කෑමද අද යම් විලාසිතාවකි.කේක් කෑම උපන්දින යේදී නැතුවම බැරිය.එක ගෙයි කෑම පැරණි විවාහ සිරිතකි.සමහරු නම් මේවා දැන් බිරිද තම හිමියාට ද,හිමියා තම බිරිදට ද රහසේ කෑම කන බව අල්ලපු ගෙදර ගෑණී මිනිහා පවා නොදන්නාවු රහමෙර ඈඟ කෑමකි.හොරට කෑම සිංහලයන්ගේම සිරිතක්ම නොවේ.දන් බත් කෑමට නම් පන්සල් යා යුතුමය.දත් මිටි කෑම ද දත් තිබෙන අයට සීමා වේ. නැති නම් ලොම්බ විකා ගන්නට සිදු වනවා.

දියබත් කෑම,හීල් බත් කෑම,සුණුසාල් බත් කෑම සිංහලයාගේ ප්‍රනීත ආහාරයකි.සිංහලයන්න මේ කෑම ආහාරයට ප්‍රිය මානාපය.ගෑස් ටික් හැදෙන්නේ නැති මේ කෑම අපේ කාලයේ උන් මේ කෑම අහවල් එකක්දැයි අසන්නේ ය.

ලඹු කිරිබත් කෑම නරියාට විතරක් ලඝු කල නොහැකිය.ලබු කෑම තුළින් ශරිරය සිසිල් වේ.ලබ්බ උබේ මගේ කතාන්දරය පොතකින් කියවන්නේ නම් අගනේය. සර්ව පාරක්ෂික ආණ්ඩුව කෑමද මේහිද සිහිපත් වේ.එය සත්තකින්ම රසවත්ය.කිරි කෑම පැණි එක්කං අගනේය.

රයිස් කෑම විලාසිතාවක් මෙන්ම ලෙඩ කෑමක් බව අපේ රටේ මෝඩයෝ නොදන්නවා නොවේ.නමුත් ඒකම ගිල දමන්නේ ය.කිරි බත් කෑම ජාතික ආහාරයකි.මළ බත් කන පිරිස් ද අදට ද නැතුවා නොවේ.

අමුවෙන් මාළු කැමට ද ධීවරයෝ රුසියෝ ය.හොද කෑම,නරක කෑම,දිවා රාත්‍රී දවල් කෑම අපට පුරුදුය. තුන් වේල කන්න ඒපා යැයි පක්ෂ නායකයෙක් පසුගිය දා කීයා තිබිණි.

කාන්තාව ශරිරය විකුණාගෙන කෑම,රට කෑම,ගම කෑම,තෙල් කෑම,එළවළු කෑම,විකුණාගෙන කෑම,කෙටි කෑම,ගුටි කෑම,ඉටිමලං කෑම,බෝඩිමේ කෑම අපට මතකයක් තිබේ.හොස්ටල් කැම ද අමතක කළ නොහැකිය.කම්පොස් එකේ රැඟ කෑම ද ආතල් කෑමකි.හොස්ටල් නම් කන්නේ කඩෙන් නම් කැන්ටින් කෑමද අගනේය.

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා!ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා!කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා!කඩ මුදලාලි කන්ථක අසු වේවා! කෑම සම්බන්ධයෙන් සර සවියේ දී කෑ කී කෑමේ කතාය. කෑමේ රසය ඒ කාලයේ නිතර නාන්නේ නැති අපි කීවේ,මෙවන් කවිය.අම්මා දනී නම් මේ සරසවියෙ තතු ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු යැයි,කැන්ටින් බත් කෑ සඟයෝ අදටද කියති.

කැලණි පාලම යටට දැම්මා වාගේ එක් කටට යමක් ගිල දමන විට අපට මතක් වේ.හොස්ටල් කැන්ටිමෙන් ගත් ඉඳි ආප්පෙකට පිම්බොත් එය නවතින්නේ මොණරාගල හුළංදා ඔයට වැටීන බැව් ඒ පැත්තේ සඟයෝ කියති.කාලෙකට ජිම් එකේ කෑම රස වන අතර කාලෙකට හුණ්ඩුවේ කෑම මනරම් ය.

දීග කෑම ද මියයෙන තුරු කන අපුරු කෑමකි.සුද්දන්ගේ කෑම ද අදටද අපි කනවාය.ගුටි කෑම ද මස්පිඩු වේදනාවට මසුරං ය.බේකරි කෑම,මුහුදු කෑම,වඳ කහ කෑම ද කෑම අතරේ රස බොජුනකි.

කෙම්පස් කෑම වැරදුනා බං සරසවියේ කතා කෑම අතරේ ගත් කළ සූරා කෑම (ආර්ථික විද්‍යාව) වේ.මස් කඩේ (වෛද්‍ය පීඨය) ආදි කෑමද මතක් කළ යුතුය.දත් කඩේ (දන්ත වෛද්‍ය පීඨය) මාළු කෑම අගනේ ය. හරියට බලු මස් කඩේ ( පශුවෛද්‍ය පීඨය) ද සිහිවන්නේය.

ගෙදර කෑම,ගමේ කෑම,බහිරව කෑම,යක් කෑම ද සුන්දරය.ඩේටා කෑම බඩට කෑම නැති වුනත් දොඩවන කෑම විසි හතර පැයේ දීම සිදු කරති.මංකොල්ලා කෑම රටේ ජාතික ක්‍රීඩාවකි.පෙනෙන්නට ද නොපෙනෙන්නට ද මේ කෑම කනවා ය. පොලිස් කෑම, අධිකරණ කෑමද කල් ගත වී සරීර ගත වේ.

පණු කෑම දත්වලට ද විවිධ පලතුරු එලවළු වලට ද පණුවන්ගේ කතාවලට ද පණු කතාවකි.ඉඳුණු රසම රස පළතුරු කන්නේ කළුපාට කැතම කැත පණුවෝ අපේ කාලයේ දැන් සිටින කොල්ලෝ කියන කතාවක් ද තිබේ.

සපා කෑම සුනඛයන්ට ද අද කාලයේ නරියෝද සපා කනවාය.සමහරු නම් සපන්නේ නැතුවම කනවා කියන්නේ.උඳු ගොව්වා කෑමද,උකුණුන් කෑම, කුනක්කු කෑම,සත්ව කෑම,බලු කෑම ගැන වැඩිපුර ලියා දන්වන්නේ නැත.ලෝකයෙන් කන්නට අද අපිට සිදු ඇත ඒ් ලෝක බලවතුන්ගේ කෑමයි.

වැඩිදෙනෙක් ගෙදරින් කෑමට ආශා කරති.ඒ වා ගෙදර කෑමයි.සමහරු අල්ලපු ගෙදරින් කෑමට පිය කරති.පොලිසියෙන් කෑම,වෙඩි කෑමට රුසියන් වන්නේ, හොරු මෙන්ම පාතාලයේ රජවරුන් කන කෑම මතක් වන විට දීය.

බුලත් කෑම සිංහල කමකි.පරිප්පු කෑම පරිප්පු නැති රටේ වැරදි පුරුද්දකි.බූට් කෑම ආදරණිය කෑමකි.ලෙව කෑම පුරුදු කෑමකි.දත් කූරූ කෑම දත් ඇති ඇත්තෝ සිදු කරති.අටු කොස් කෑම ගැමි කෑමකි.දූවිලි කෑම පාර අයිනේ සිටින විට කැවෙන කෑමකි.කැන්ටිමේ කෑම කෑම අතරේ ගත් කළ අමතක කළ නොහැකිය. මේ දිනවල කැන්ටිමේ කෑම කන්නේ බලාගෙනය.මේ අතරේ ගත් කළ අපේ කාලයේ අලුත්ම කෑම රට කෑම සර්ව පාක්ෂික කෑමයි.

මාළු කෑම කෙසේ වුවද,රට කෑම,රට කර වු රට කරවන සමහරක් මැති ඇමති ඡාරියෝ ද සමාජයේ එදාද අද ද ඇත්තටම හෙට දිනයේ ද සිටිති.මෙයට අමතරව,බලන්න මේ පිරිසද කෑමට නම් අති දක්ෂයෝ ය.

බඩ ජාරියා ගැන අපි දනිමු.කපුටු බාලයා කෑදරයෙකි.සව්දම් ජෙමා කන්න දක්ෂ බඩ ජාරියෙකි.සව්දම් ජේමාගේ කතාව රසම රස කතාවකි.ඒ් අය ලංකාවේ වැඩිපුරම සිටින්නේ දියවන්නේනාවේ ය.මේ ඇත්තෝ අදට ද දියවන්නාවේ දැකිය හැකිය.සව්දම් ජේමාගේ කතාව වැඩිහිටියන්ගෙන් අසා දැනගන්නවා නම් අගනේය.

නරියා හා කේජු කෑල්ල කතාව,අම්බලං පාළුවෝ,උබේ බඩත් අම්බලම්ක් වාගේ කිව්වලු,බඩේ හිඟන්නෝ,සා ගින්දර කාරයෝ,කොළඹ කාක්කෝ ද නැතුවා නෙවේ.කෑම දාසලා,කෑම පෙරේතියෝ,පෙරිතියෝ,කෑම බබාල,කෑම බට්ටෝ,බැට්ටියෝ අද සමාජයේ සිටින්නාහුය.

සේනා දඹලුවෝ කාපු කෑම අපට මතකය.පුළුටු කෑම යකුන්ට අයත් කෑමකි.ගංජා බොන්න කියන්නේ නැත.කන්නට ද හැකිය. ආයුර්වේදයටද මෙය ඔසුවකි.කන්න කැමැකි අයට දෙසා බාන්න,කොටා බාන්න,වළදන්නට,අනුභව කරන්නට එන්න එන්න යැයි අපි ආරාධනා කරමු.

කණකොට කන්නේ හොමද කියලා දන්නවාද? කෑම වට්ටෝරුව ද සූපවේදීහු අපුරුවට කියති. ක යන්න ගැන කතා කරමු ද? කන මුර්තජ ණ යන්න දන්ත ද න යන්න එක් වු විට හරියට ලියනවා නම් කන ලියන්නට උවමනාය.

අප හිමිවරු වළඳනවාය.ගිහියෝ ඒකට කියන්නේ කනවා කියාලාය.සුද්ධ සිංහලයෙන් දොඩනවා නම් අනුභව කරනවාය.අලුත් අවුරුද්දට කරන්නේ රටට එක වේලාවක දී මේ කටයුත්ත කරන නිසාය. එදාට විතරක් කරන මේ චාරිත්‍රය හැමදාමත් කළ යුතු රටට යහපත් දේ මේ නැකතට කරනවා නම් ලංකාව ගොඩය. සංවර්ධනය කළ හැකිය.එය වෙන කතාවක්ය.

රට කරවු කරවන පාලකයන් හිතන්නේ අපි රජ බොජුන් කන බවය.ඇත්තටම කතාව නම්,අපි කන හැටි ලිප වත් නොදන්නේය.එය හරියටම කියනවා නම් තණකොළයි බතුයි මහත්තයෝ යැයි කීවාට කමක් නැත.

කෑම නැති නම් කනවා යන්න පිළිබඳව කතා කරන විට විවිධ කතා ඇත.ජනතාවට ආරක්ෂා කරගෙන එන ප්‍රතිපත්ති,පාලකයෝ කනවා යැයි සමහරු කියති.ඇත්තටම ඒවා කා දමන දමන බව නම් සැබෑය.

කනවා වචනය බහුල,ප්‍රධාන,මුඛ්‍ය,අරුත,ආහාර අනුභව කිරීමයි.ඊට භුක්ති විඳිනවා,සප්පායම් වෙනවා,වලඳනවා,කොටා බානවා වැනි වදන් ද යෙදෙයි.විනාශය,අවසානය,දැක්වීමට යෙදෙන අවස්ථාවල ගම කනවා,රට කනවා,වැඩේ කනවා යනුවෙන් කතා භාවිතය මෙහි දී සිහිපත් කල යුතුව ඇත.

පස් කනවා යනු පොළොවේ වැළලී යෑමට නැත් නම් මිහිදන් කිරීමට යෙදෙයි. අපේ ගම්වල ගොයම් කමතේ දමා වී ගැනීමට අම්බරුවන් ලවා පාගන විට සීතල කමතේ වී ඇට කිඳා බැහීම ද මඩ කනවා.පාර කනවා කමත් භාෂාවේ දී කියති.

රැස් කනවා යනු එකතු වීමයි.කොරෝනා කාලයේ ජනතාව රැස් කනවා නම් මීටරේ දුරට නැතිනම් දඩුම්යනැතිනම් දඩුම්ය.ධ්‍රෝන කැමරාවලින් ණඩු නිමිත්ත ගොනු කෙරේ. බදරැස් කනවා කියා කියන්නේ ද මෙයටමය.

අපේ මංගල චාරිත්‍රවලත්,විවාහ දිවියේත් විවිධ අරුතින් කෑමට යෙදී ඇත. විවාහයම වරෙක (මඟුල් කෑම) දීග කනවා යැයි කියති.යෝජනාව කතාබහ කරගැනීමට කීවේ බත්-බුලත් කනවා කියාය.ස්ත්‍රියක හා විසීමට පවුල් කනවා කියා කියති.එකගේ කෑම පුරාණ විවාහ ක්‍රමයකි.පර ස්ත්‍රීන් හෝ පර පුරුෂ ඇසුර හොරා කෑම මේ සටහන කියවන අය හොරා වගේ කියවනවාය.

බෝග වගාවේ දී නම් ඔන්න,පළමු පලදාව අහරට ගැනීම අලුත් බත් කෑම වේ. බත් නොවන දේට කීවේත් අලුත් බත් කියාය.කුලල් කෑම අමුතුවෙන් කියන්නට දොඩන්නට අවශ්‍ය නොවේ. එය අපිට හුරු පුරුදු කෑම්ය.

පොර කෑම,මල කනවා,මලකඩ කනවා,පුස් කනවා,දියඹලං කනවා,බැරිදේ පුළුවන් ද දත්මිටි කෑවාට කියා කියමන් ද තිබේ.පොලි මුදලාලිගෙන් ණයට ගත් විට ඔහුට පොලී කන්ට සිදු වන්නේ ය. පෙරකදෝරුවනට මුදල් දීම ගිනි කනවා බව දැනගත යුතුව ඇත.සත්තකින්ම නිමාවක් නැති යම් ඉදි කිරීමක්,ව්‍යාපෘතියක්,ඉගැනුමක් වැනි අවසානයක් නැති වැය කිරීමක් සිදුවන්නේ ද සල්ලි කනවා ගැමියෝ කියති.

මේ දිනවල පඩිපත කුඩාය.ලබා දෙන මුදල සුළුය. එය හදුන්වන්නේ,ආප්ප කණ්ඩත් මදි කියාය.‍ මහා පරිමාන ආකාරයෙන් සමහර මිනිසුන් ද සමහර මැති ඇමතිවරු ද වංචා කිරීමට හොරා කනවා,ගසා කනවා යැයි කියති.

නිකරුනේ වැඩ නොකර කනවා නම් එය එයට කියන්නේ,පඩි කනවා,පිං පඩි කනවා කියාලාය. ගොවිතැන ජීවිකාව කරගත් අපේ ඇත්තෝ එකල සුද්දාගෙන් පඩි කා දිවි රැකීම අවමනට ලක් කළහ. නැති බැරි අය ජීවිතය ගෙන යන්නේ උලා කන ආකාරටය.කනවා නෙවෙයි අපි ලෙව කනවා යයි පවසන්නේ ද නැති බැරි කමටයි.

උදුගොව්වා කනවා,නිය පොතු කනවා.කිරි පණුවන් කනවා,කඩි කනවා ද කියා කතා රැසකි.උගුරේ බැරැණ්ඩියටඋගුර බල්ලන් කා ඇති නිසා දැයි ගම්වල ගැමියෝ අසති.වේයා,නෑයා,මීයා කාවා ද කනවා කතාන්දරයට එක් කළ හැකිය. කාවුන් කනවා,කුරුමිණියන් කනවා කියා මතක් කල යුතුව ඇත.

පත්තර වල රූප පෙට්ටියේ ගමේ ගොඩේ මැති ඇමති ඇත්තෝ මෙන්ම මෝඩ ගැත්තෝ නුසුදුසු නොහොබිනා දේ කියන අයට අපේ ඇත්තන් කෝපයෙන් කීවේ උගේ කට කණ්ඩ ඕනෑ කියාය.නපුරු පරුස වදනක් ලෙස පෙර සඳහන් විනාශ ලක්ෂණයම මතු කර උඹ කනවා යැයි ද දොඩනවා ය.නොසෑහෙන්ට දොස් අහන්නට කටයුතු කරන අයට වර්තමානයේද ඔය වැඩේට උඹ නම් කනවා යැයි අනිෂ්ටය තේරුම් කරන අවස්ථාද ඇත්තේය.

ආප්ප කෑම ද අතිශයින්ම අදට ද ජනප්‍රිය වු කෑමේ කතාවක්ය.ආප්ප කනවා වගේ යැයි ප්‍රස්තා පිරුලක් ද තිබේ.හිරබත් කෑම ද මතක් කළ යුතුය.සමහරු බලයට ඒන්නට දත කනවා ය.යමකට අභියෝග කරන්නේ කාලා වරෙල්ලකො වශයෙනි.

හොඳ හෝටලයකින් කාලා නැහැ යැයි සමහරු කියති.රෙද්ද අස්සේ නයි දාගෙන,කනවෝ කනවෝ ගානවා.කිඹුලා කනවා ඉවසුවතෑකි.කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැරිය ගමේ කියමනකි.කෑම දුටු පමණට,තිබූ පමණට කන්නෝ කෑදරයෝය.එවිට පෙරේතයා ගොටුව කනවා වාගේ කියනු ලැබේ.ලෝභයාගේ දේ කූඹියා කනවා.අ‍ඟේ සිට කන කෑමේ කතාද මතක් කළ යුතුව ඇත.

සරසවි භාෂාවෙන්ම කෑම කතන්දරය අවසන් කරනවා නම්,හැණ්ඩියන්ට කෙල්ලො නෑ.රූ මන්ට ඇඳන් නෑ. බ්‍රයිටන්ට ක්ලාස් නෑ.ජනතාවට කන්න නෑ. ජනතාවට කැදත් නෑ යකෝ යැයි නිකමට මතක් කළ යුතුව ඇත.දැන් කොහොමද කෑම – අති විසිස්ටයි සර් කියා කියා කෑමට තිත තබමු.

නිමල් අල්ගෙවත්ත

Similar Posts