යාපනය ගුවන් තොටුපළ විවෘත කිරීමේදී එහි නාම පුවරුවේ සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා තිබීම පිළිබඳව මේ දිනවල දේශපාලන අවස්ථාවාදීන් විසින් විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටියි. මෙය මගින් ජාතිවාදය අවුස්සමින් තමන්ගේ දේශපාලන ජයග්‍රහණයන් සඳහා එය පාවිච්චි කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි.

කණගාටුවට කරුණ නම් වගකිවයුතු මාධ්‍ය ආයතනද මෙය සිය වෙබ් අඩවි මගින් දක්වා සිටියේ සිංහල භාෂාව දෙවන තැනට යන සිරසිනි. මෙය මුලින්ම වාර්තා කලේ නෙත් නිව්ස් වෙබ් අඩවියයි. උදේ සිට රෑ දක්වා බෞද්ධ කම පෙන්වන, බෞද්ධ වැඩසටහන් මගින් සිය වෙළඳපොල තරකරගත් නාලිකාවක් බෞද්ධකමට ඉදුරාම පටහැනි ලෙස ජාතීන් අතර වෛරය ඇතිවන ලෙස කටයුතු කළේ ඒ අයුරිනි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිදු වූයේ මෙයයි. සුළුතර ජාතිකයන්ට යම් සහනයක් ලබා දෙන විට, ඔවුන්ටත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සිතිය හැකි තත්වයක් ඇති කරන විට සිංහල ජාතිවාදීන් විසින් කළේ ඒවාට එරෙහි වීමයි. එය කෙළවර වූයේ තිස් වසරක බිහිසුණු සිවිල් යුද්ධයකිනි.

මෙම තිස් අවුරුදු සිවිල් යුද්ධය ඇතිවුණු පසු දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි පිළිබඳව රජය ආමන්ත්‍රණය කල අතර ඒ අනුව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විවිධ සංශෝධන ගෙන ඒමට කටයුතු කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13වන සංශෝධනය ගෙන එමින් සිංහල හා දෙමළ යන භාෂා ද්විත්වයටම සමතැනක් දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව භාෂාව පිළිබඳ විධිවිධාන ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිව්වන පරිච්ඡේදයේ රාජ්‍ය භාෂාවක් ලෙස සිංහල සමග දෙමළ භාෂාවද ඇතුළත් කරනු ලැබීය. එම සංශෝධනයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන වගන්තිය දැක්වුනේ මෙලෙසයි.

“18 (1) ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂෘව වන්නේය.

(2) දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය

(3) ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය”

දෙමළ භාෂාව හා සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන බව 19 වන ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වන අවස්ථාවේ සිටම ඇතුළත් වී තිබුණි.

මේ අනුව රාජ්‍යය විසින් කරන ජාතික කටයුතු වලදී සිංහල හා දෙමළ භාෂාව සමාන තත්වයකින් යොදා ගැනීම රටේ මූලික නීතියට ගරු කිරීමක් මෙන්ම දෙමළ ප්‍රජාවට ඔවුනුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවට හැගීමක් ඇති කරවන්නක්.

මෙම ප්‍රස්තුත කාරණයට වඩාම වැදගත් ව්‍යවස්ථාව වන්නේ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකාවේ පරිපාලන භාෂා විය යුත්තේ මොනවාද යන්න හා එම පරිපාලන භාෂා භාවිතා කළ යුතු ආකාරය එහි දැක්වේ. මෙම ව්‍යවස්ථාව 16 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූවක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පරිපාලන භාෂාව සිංහල හා දෙමළ භාෂා විය යුතු බවත් උතුරු නැගෙනහිර පළාත්වල හැර අනෙක් සියලුම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු බවත් එහි දැක්වේ. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වලදී දෙමළ භාෂාව පරිපාලන භාෂාව ලෙස සලකා කටයුතු කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු සලසා තිබේ. මෙම විධිවිධානය මගින් උතුරු නැගෙනහිර පළාත් වලදී දෙමළ භාෂාවට යම් ප්‍රමුඛතාවයක් සලසා දී තිබේ. එපමණක් නොව මෙම 22වන ව්‍යවස්ථාව මගින් එම පළාත්වල සිංහල භාෂාවෙන් පරිපාලන කටයුතු කර ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට එය ඉල්ලීමක් මගින් හෝ සන්ධාන භාෂාව වන ඉංග්‍රීසි භාෂාව මගින් ඉටු කරවා ගැනීමට අවශ්‍ය පසුබිමද සකසා තිබේ.

එසේ නම් යාපනය ගුවන් තොටුපොළේ නාම පුවරුව තුළ දෙමළ සිංහල ඉංග්‍රීසි යන අනුපිළීවෙලට නම් යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට ගරු කිරීමක්. මෙහිදී කිසිසේත් සිංහල භාෂාව දෙවන තැනට ඇද දැමීමක් සිදු නොකරන අතර නොව මේ මගින් දෙමළ ජනයාට ශ්‍රී ලංකාව අපටත් අයිති බවට හැගීමක් ඇති කරවන්නක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මෙරට පුරවැසියන් වන දෙමළ ජනයාට ගරු කිරීමක් කරමින් යොදා ඇති මෙම නාම පුවරුව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු විය යුතු අතර අප උත්සහ කල යුත්තේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප්‍රශ්නයක් නොමැති බවට ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමටයි.

මෙම නාම පුවරුවෙන් දේශපාලනයෙන් අනාථ වී ගිලෙමින් සිටින කණ්ඩායම් ජාතිවාදය නම් පිදුරු ගහේ එල්ලීමට උත්සහ දැරීම පිළීකුලෙන් හෙළා දැකිය යුතුය.

 

සටහන : නීතිඥ දුලාන් දසනායක

 

Similar Posts