pura

ජනතාවට පාර පෙන්වා දී ජනයාට සරණ විය හැකි; රට පිළිගත්,එමෙන්ම දේශපාලන පක්ෂවලට ගැති නොවූ, හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදිහටත් දකින මධ්‍යස්ථ මතධාරීන් ඇතැමෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රමාණවත් තරම් කල එළි බසින්නේ නැහැ.

ඔවුන් එළි බැස ජනතාවට නිසි මඟ පෙන්වුවහොත් දේශපාලකයන් කිසිවෙකුට හා ඔවුන්ගේ වහලුන්ට කළ හැකි හා කිව හැකි දෙයක් නොමැති ව නන්නත්තාර වනු නිසැකයි.

ප්‍රමාණිකයන්ගේ එළි නොබැසීම අපගේ අවාසනාවක් විය හැකියි. එහෙත්, පිළිගත යුතු දෙයක් නම් රාජ්‍ය නිලධාරීන්ට ඒ අයිතිය නොමැති බවයි. මඟ පෙන්වන්නේ නම් ඔවුන් පසුපස ඒමට විශාල ජනකායක් සිටින බව ද මට ලැබෙන ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික විද්‍යාව , රාජ්‍ය ආරක්ෂාව , වන ජීවී සංරක්ෂණය , පුරා විද්‍යාව , කලාව හා සංස්කෘතිය, දේශපාලන විද්‍යාව, ක්‍රීඩා හා වෛද්‍ය සේවා, ජන මාධ්‍යය, නීතිය, වාරි තාක්ෂණය , ආහාර හා කෘෂිකර්මාන්තය අපනයන භෝග හා වැවිලි සම්පත් සංවර්ධනය , පශු සම්පත් කලමනාකරණය , ආගමික සහ ජාතික සහජීවනය, ආදි වාසී සංස්කෘතිය හා ඔවුන්ගේ ජීවන තත්ව නඟා සිටුවීම , දේශීය ආයෝජන හා දේශීය ආයෝජකයන් බල ගැන්වීම, මානව සම්පත් කළමනාකරණය , ඉංජිනේරු ශිල්පය , සමාජ සේවා, ආපදා කළමනාකරණය , ධීවර කර්මාන්තය , කර්මාන්ත හා තාක්ෂණය, මූල්‍ය හා වානිජ කළමනාකරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, කර්මාන්ත හා සුලු කර්මාන්ත සංවර්ධනය , ප්‍රවාහන හා මාර්ග, බල ශක්ති, නීතිය, ඛනිජ සම්පත්, ජනතා සුබසාධනය, ඇඟලුම් කර්මාන්තය, විදේශ රැකියා ප්‍රවර්ධනය , විදේශ කටයුතු හා විදේශ ප්‍රතිපත්ති, සංචාරක ව්‍යාපාරය , කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නිශ්චිත සැලැස්මකටත් ඒ අනුව සැකසූ ජාතික ප්‍රතිපත්තීන්ටත් අප යා යුතු වෙනවා. මධ්‍යස්ථ මතධාරී වූත් කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවූත් ප්‍රමාණිකයන් මුලු ගැන්වී හෝ අසරණව හෝ විශ්‍රාම සුවය භුක්ති විඳිමින් පසුවනවා.

සමහරුන් විවිධ න්‍යාය පත්‍රවලට ගොදුරුවී එහි වහලුන් බවට පත්ව සිටිනවා. ඔවුන් ගැන ඇති වන්නේ පිළිකුලක් හා කණගාටුවක්.

ඔබ යම් විෂයක් ගැන ප්‍රමාණික මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්ෂවලට ගැති නොවන අයෙක් නම් හා ඉහත විෂයක් ගැන විශේෂඥයෙකු නම් අප හා අත් වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මා දැනටමත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රට පිළිගන්නා ප්‍රමාණිකයන් රැසක් මේ කාර්‍යයට ගොනු කරගෙන තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන්ට ද තමන්ගේ යෝජනා හා අදහස් ලබාදීමට නීතියෙන් බාධාවක් නොවන බැව් මාගේ මතය වන මුත් එය තවදුරටත් සොයා බලා ඔබගේ අදහස් හා යෝජනා ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. එම විස්තර ලියා එවීමට මාගේ ලිපිනය පහත දක්වන්නම්. පූර්ව දැනුවත් කිරීමකින් අනතුරුව බදාදා දිනවල මාගේ නිවසට පැමිණ ද ඔබට මා සමග මේ ගැන අදහස් හුවමාරු කර ගත හැකියි.

ආචාර්ය සෙනරත් දිසානායක ,
අංක 39/15 , අංගම්පිටිය පාර.
කෝට්ටේ, ඇතුල් කෝට්ටේ.

අප මේ ගැන කතිකා කර සහජීවනයෙන් ඉදිරිය බලා වැඩ පිළිවෙලක් සැකසීමටත් ඒ ඒ විෂය පිළිබඳ ( කොළයකට හෝ දෙකකට සීමා නොවන ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි ) විස්තරාත්මක හා බුද්ධි ගෝචර වූත් රජයෙන් රජයට වෙනස් නොවන්නාවූත් ජාතික ප්‍රතිපත්ති සකසා පවත්නා රජයන්ට එය ක්‍රියාත්මක කරන ලෙස පුරවැසියන් ලෙස ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබෙනවා. මේ තාක් රටේ එකම ආයතනයකට හෝ ජාතික ප්‍රතිපත්ති සකසා නොමැති බව සක් සුදක් සේ පැහැදිලියි.

බොහෝ නොදියුණු රටවල් හිස ඔසවා දියුණු වීමට ප්‍රධාන හේතුව කලින් කල සුළු සංශෝධන කළ යුතු වුවත් නොවෙනස් වන ජාතික ප්‍රතිපත්ති ඔවුන් සකසා තිබීමයි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස මාගේ අවසන් වසර දෙක තුනේ සෑම අංශයක් සඳහාම විස්තරාත්මක කාර්‍ය පටිපාටි සැකසුවා. ඒවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති ලෙස ද දැන් භාවිතා කරනවා..

අප ගැන ආත්මාර්ථකාමීව නොසිතුවත් අපගේ දුවා දරුවන් හා ඔවුන්ගේ ද දුවා දරුවන් ගැන සිතන්නේ නම් ඔවුන්ට රටක් ඉතිරි කිරීමට අපට මේ දේ කළ යුතුම වෙනවා.

සංවර්ධනය යැයි කියාගන්නා අධිවේගී මාර්ග, නෙලුම් කුලුණු, අතිරේක ගුවන් තොටුපලවල්, නැව් නොඑන වරායවල්, මිනිසුන් නොයන දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා ආදී මෙකී නොකී දෑ තනන්නේ ආර්ථිකය ශක්තිමත් වී ඉන් ඉපැයෙන ආදායමෙන්.

අපි කළේ පහළ ආර්ථික ස්ථරය ශක්තිමත් නොකොට ගිනි පොලියට රට රටවලින් ණයට ගත් මුදලින් උපනූපන් පරපුර ද ණය කරුවන් කොට හිඟන රටක් බවට පත් කිරීමයි. අපි වැඩ කර ඇත්තේ සර්පයාගේ වලිගයෙන් අල්ලා ගෙන විෂකූරු දත් ඇති මුඛය අපේ පැත්තට හරවා ගෙනයි.

සර්පයා දැනට ද අප හපා කමින් සිටිනවා. දැන් විෂට බෙහෙත් හොයන්න රටෙන් රටට හිඟමනේ යන්න වෙලා. හිඟමන් සල්ලියි අච්චු ගැසූ සල්ලියි ඉවර වූ කල වෙන්නේ සර්ප දෂ්ටයෙන් අප හා දරුවන්ට මියැදීමට සිදු වීමයි.මේ වෙමින් පවතින්නේ එයයි.මේ උවදුරින් අපේ රටත්, ජනතාවත්,මතු පරපුරත් බේරා ගැනීමට තිරසර අදිටනින් අපි සැවොම එක් වෙමු.

ඔබ සැමට සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා!.

ආචාර්ය සෙනරත් දිසානායක ,හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

Similar Posts