අධ්‍යාපනය තුල අතරමං වීම

edu

අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරනය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරිපෙල ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයා බැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප අත්කරගත් හා අපට අහිමි වූ දේ ගැන කෙරෙන ඇගයීමකි.

අධ්‍යාපනය කළමනාකරනය කරගැනීමේ දුර්වලතාවයේ පළමු වින්දිතයන් බවට පත්ව ඇත්තේ අපේ රටේ දරු පරපුරයි. එහි දෙවන වින්දිතයන් වන්නේ දෙමවුපියන් වන මහ ජනතාවයි.

මෙරට දරුවන්ට තමන්ගේ ළමා සහ නවයොවුන් ජීවිතයේ වැඩි කාලයක් පන්ති කාමර තුළ එනම්, උදේ වරුවේ පාසල තුලත් සවස් වරුව උපකාරක පන්තිවලත් වශයෙන් විෂය කරුණු ඉගෙනගැනීමට සිදුවීමත් විශේෂයෙන් ළමාවියේ දී ගමනාගමනය සඳහා සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදුවීමත් ඒ හරහා දෙමාපියන්ගේ කාලයද නාස්ති කිරීමට සැලැස්වීමත් එම කළමනාකර දුර්වලතාවයේ ප්‍රධාන අතුරුඵලය ලෙස දැක්විය හැකිය.

නව යොවුන් විය උදුරා ගැනීමට වැඩිහිටියන්ට අයිතියක් තිබේද?

මෙලෙස ශිෂ්‍යයයාගේ ළමා සහ නව යොවුන් විය අධ්‍යපනය මුවාවෙන් උදුරා ගැනීමට වැඩිහිටියන්ට ඇති අයිතිය කුමක්ද? මේ තුලින් අප බිහිකරන වැඩිහිටියාගෙන් බලාපෙරොත්තු විය හැක්කේ කුමක්ද? වැඩිහිටියන් විසින් පිලියෙල කළ දේ පමනක් මුලු කාලය පුරාම ඉගැන්වීමට සැලැස්වීම හරහා ළමා කාලයට උරුම නිදහසේ සිතීමට, නිර්මාන කිරීමට හෝ තමන්ට හිමි කුසලතාවයක් හඳුනාගැනීමට ඇති අයිතිය උදුරාගැනීමක් නොවන්නේද?

මෙම පවතින ක්‍රමවේදය තුල හැදෙන දරුවා වැඩිහිටියෙක් වූ කල පවතින සමාජය තුල ජීවත්වීමට තරම් ප්‍රතිශක්තියකින් හා කුසලතාවකින් යුක්තද? කෙටියෙන් කියන්නේ නම් මෙම ක්‍රමය ‌තෝරාගත් අංශ කීපයක් සඳහා දක්ෂතා දක්වන දරුවන් සඳහා පමණක් මාර්ගය සකසා සෙසු දරුවන් අපේක්ෂාභංගත්වයට පත්කරවන ක්‍රමයක් නොවන්නේ ද? මෙම ප්‍රශ්න සියල්ලෙන්ම ආමන්ත්‍රණය කෙරෙන්නේ දැනට අප ක්‍රියාත්මක කරමින් සිටින ක්‍රමවේදයේ ඇති සෘණාත්මක භාවයට බව ඔබ එකඟ වනු ඇත.

අඩුතරමින් මේ තුළින් කාල කළමණාකරනය ගැන හෝ ආදර්ශයක් සැපයීමට අප සමත්ව ඇති බවක් පෙනෙන්නට නැත. අවශ්‍ය අධ්‍යාපනය දවසේ යම් නිශ්චිත කාලයක් තුළ ලබාදීමට සැලැස්වීම සහ ඉතිරි කාලය ක්‍රීඩා සහ අනිකුත් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ඉඩසලසා දීම සමබර වර්ධනයක් ඇති කරලීම සඳහා වැදගත්වේ.

පාසැලෙන් නික්මයන දරුවාත් තව දුරටත් දෙමාපියන්ගෙන් යැපීම

පාසලෙන් නික්මයන දරුවා වගකිම් සහිත වැඩිහිටියෙකු බවට පරිවර්තනය වන්නේ යම් රැකියා හෝ ශිල්පීය පුහුණුවීම් හෝ උසස් අධ්‍යපනය ලබන කාලසීමාවේදීය. එහෙත් එවැනි පුහුණුවීම් හෝ උසස් අධ්‍යපනය සඳහා මෙරට දරුවන්ට ඇති පහසුකම් සාපේක්ෂ වශයෙන් අඩුය. ගාස්තු රහිත රජයේ විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතන වලට සුදුසුකම් ලබන සුලුතරයට හැරුනු විට බහුතර දරුවන්ට සිදුවන්නේ තවදුරටත් දෙමවුපියන්ගෙන් යැපීමට සහ ඔවුන්ගේ වත්කම් අනුව පුහුණුවීම් හෝ උසස් අධ්‍යපනය සඳහා යොමුවීම හෝ එසේ නොහැකි අයට යම් රැකියාවක් සොයාගැනීමයි.

එහෙත් මෙම පවතින ක්‍රමය මඟින් දරුවන්ගේ හැකියා හෝ කුසලතා අනුව අනාගතය තීරණය කරනවාට වඩා වැඩි ආදායමක් ලබාගත හැකි සහ පිලිගැනීමක් ඇතැයි සැලකෙන රැකියාවන් කීපයක් සඳහා බහුතරය තරඟ කිරීමට පෙලඹී සිටීන වාතාවරනයක් නිර්මානය වී ඇති බව නිරීක්ෂණය කල හැකිය.

එහෙත් ආර්ථික අතින් දියුනු රටවල මෙම තත්වය කළමනාකරනය කරන්නේ ඒ හරහා වගවීමේ හා ආයෝජනය කිරීමේ පාඩමද දරුවාට අවබෝධවන අයුරෙනි. මෙම ක්‍රමයෙහි පදනම වන්නේ උසස් අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවශ්‍ය ඕනෑම අයෙක් ඒ සඳහා සඳහා අදාල ආයතන වෙත ගෙවීම් කල යුතුය යන්නයි.

අධ්‍යාපනය සපයන ආයතනවල ධාරිතාව ඒ ඒ රටවල ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවායයි. මෙම ආයතන රජයයේ හෝ පුද්ගලික හෝ රජයේ හා පුද්ගලික ඒකාබද්ධ අයිතිය යටතේ නිදහස් ව්‍යාපාර ලෙස නියාමනයට යටත්කොට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇත. එක් එක් ආයතනයන්ට ශිෂ්‍යයින් බඳවා ගැනීම සිදු කරන්නේ තරගකාරීත්වය හරහාය. එක් එක් අංශ සඳහා වියදම වෙනස් අතර බොහෝ විට ඉල්ලුම වැඩි විෂය ධාරාවල මිල වැඩිය.

Cost Benefit Analysis අධ්‍යාපනයට අවශ්‍යයි

පාසල් සමය අවසන් කරන ඕනෑම දරුවෙකුට උසස් අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ආයෝජනයක් කිරීමට සිදු වේ. ඒ සඳහා ඔවුනට ආයෝජනයේ වියදම සහ එහි ප්‍රතිලාභ පිලිබඳ විශ්ලේෂනයක් (Cost Benefit Analysis) කිරීමට සිදුවේ. ඒ මඟින් තමන්ට වඩාත්ම සුදුසු හා ප්‍රතිලාභ ගෙනදෙන ආයෝජනය කිරීමට දරුවාට සිදුවේ.

මෙම ආයෝජනය සඳහා මුදල් ශිෂ්‍යයන්ගේ ඉල්ලීම මත ඒ ඒ අධ්‍යාපන ආයතනවල මැදිහත්වීම හරහා රජයෙන් මඟින් අදාල ආයතනය වෙත ලබාදෙනු ලැබේ. මෙසේ ශිෂ්‍යන් විසින් ආයෝජනය කරන මුදල් පොලියත් සමඟ රැකියාවකින් ආදායමක් ලබාගන්නා විට ආපසු රජයවෙත ගෙවිය යුතුය.

මෙහිදී රජයයන්ගේ අවධානය යොමු වී ඇති වැදගත් කරුණ වන්නේ සියලුම ශිෂ්‍යයන් සඳහා අධ්‍යාපන ණය සැපයීමට පුමුඛස්ථානයක් දීම සහ යටිතල පහසුකම් සැපයිමේ ප්‍රාග්ධන වියදම් සඳහා පුද්ගලික අංශය සමඟ හවුලේ සහභාගී වීමයි.

මෙලෙස උසස් අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් අවසන් කරන දරුවාට රැකියාවක් සොයාදීමට රජය කිසි ලෙසකින්වත් වගකියන්නේ නැත. බොහෝ විට ආර්ථික අතින් දියුනු රටවල රාජ්‍ය අංශය ඉතා කුඩා අතර ඒවාද රාජ්‍ය පරිපාලන, අධිකරන, ආරක්ෂක, දේශීය ආදායම්, සමාජ සේවා වැනි අංශ සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවල යම් ප්‍රතිශතයක් වශයෙන් සීමාවේ. එබැවින් රැකියා සැපයීමේ ප්‍රමුඛයා සහ ඉහල වැටුප් පිරිනමන සේවාදායකයා වන්නේ පුද්ගලික අංශයයි.

එහෙත් මෙරට පවතින තත්වය මීට වඩා වෙනස්ය. බොහෝ විට මෙරට රැකියා සැපයුමේ ප්‍රමුඛයා, විශේෂයෙන්ම උපාධිදාරීන්ට රැකියා සැපයුමේ ප්‍රමුඛයා වන්නේ රජය හෝ රජයට අනුබද්ධ ආයතනයි.

එයට හේතු වශයෙන් දැක්විය හැක්කේ මෙරට ආර්ථිකයේ වැඩි ප්‍රතිශතයක් එනම් ප්‍රාග්ධන ආයෝජනවලින් වැඩි ප්‍රතිශතයක් රජය සතුව පැවතීමයි.

ඒ අනුව මෙරට ආර්ථික ක්‍රියාවලියේ මර්මස්ථානද ඇතුලුව ප්‍රමුඛ වශයෙන් හසුරවනු ලබන්නේ රජයයි. රටේ ආර්ථික ක්‍රියාවලියේ වැඩි ප්‍රතිශතය එනම් ප්‍රාග්ධනයේ වැඩි ප්‍රතිශතයක් ඉතා අකාර්යක්ෂම ලෙස කළමනාකරනයවීම හරහා ආර්ථිකයේ ප්‍රසාරනය ඉතා මන්දගාමී බවට පත්ව ඇති බැවින් ජනගහන වර්ධනයත් අනුව සිදු විය යුතු රැකියා අවස්ථා ප්‍රසාරනයද ඉතා මන්දගාමී බවට පත්ව ඇත.

අවාසනාවන්ත තත්වය වන්නේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධන සැපයුම ලබාදීමට රජයට හෝ දේශීය පුද්ගලික ව්‍යවසායකයාට හැකියාවක් නොමැතිකමත් සහ ඒ සඳහා විදේශ ප්‍රාග්ධන ආයෝජන ලබාගැනීමට ජනතාව අකැමැති වීමත්ය.

පවතින තත්ව යටතේ මෙරට දරු පරපුරෙන් බහුතරයකට සිදුවන්නේ උසස් අධ්‍යපනයෙන් පසු රැකියා නොමැතිවූවන්ගේ සංගමයට එක්වීමට හෝ කෙසේ හෝ රට හැර යාමයි.

මේ අතර ඉංග්‍රීසි භාෂා මාධ්‍යය භවිත කරමින් අධ්‍යාපනය ව්‍යපාරයක් ලෙස දියුනුකල රටවල් විදේශ ශිෂ්‍යයන්ට තම රටේ විශ්වවිද්‍යලවල දොර විවෘත කර ඇති අතර එමඟින් විශාල විදේශ විනිමය ප්‍රමානයක් ඒ ඒ රටවලට ආකර්ෂනය කර ගනිමින් සිටිති.

අමතර වශයෙන් බොහෝ උගතුන් හට තම රටතුල සිට සේවය කිරීමට අවස්ථාවද හිමිකරදී ඇති අතර මේ හරහා බුද්ධි ගලනය අඩුකරගැනීමටද අධ්‍යාපන ආයතන සඳහා අමතර සේවා සැපයීම මඟින් දේශීය ආර්ථිකයට දායකත්වයක් සැපයීමටද මෙම ක්‍රමය සමත්ව ඇත.

අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට ජනතාවට උරුමවූ උසස් ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය භාවිතකර අපට ගොඩනැඟීමට හැකිව තිබූ මෙම අධ්‍යාපනය ව්‍යපාරය අද වන විට අප අසල්වාසීන් විසින් අත්කරගෙන භුක්තිවිඳිනු උපේක්ෂා සහගත ලෙස බලා සිටීමට මෙරට ජනතාවට සිදුවී ඇත.

කීර්ති ගොඩිගමුව

Related posts