gossip c lanka news

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ණය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට කිසිදු පොරොන්දුවක් ඉටු කර දීමට නොහැකි වී ඇත.

එපමණක් නොව වසංගතය හමුවේ සංකීර්ණ වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් පීඩා විදින කාන්තාවන්ට සහන සැලසීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් කිරීමටද ආණ්ඩුව අපොහොසත් විය.

සමස්ථ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයින්ගේ ජීවන තත්වය පරිහානියට පත්ව ඇති අවධියක පවතින තත්වයේ බරපතලකම මෙන්ම අනාගත අනතුරු පිලිබඳ සමාජය දැනුවත් කිරීමටත් ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයින්ගේ ජාතික පෙරමුණක් ගොඩ නැංවීම සඳහාත් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්වූ කාන්තා එකතුව 2021 මාර්තු 08 ආරම්භ කොට දින 55ක් තිස්සේ පොලොන්නරුව හිඟුරක්ගොඩ රාජ්‍ය ස්මාරකය අභියස පැවති සත්‍යග්‍රහයට සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමටද ආණ්ඩුව අසමත් විය.

දිගින් දිගටම ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් ඇතුළු මෙම ප්‍රශ්නයෙන් පීඩා විදින ජනතාව නොමඟ යවමින් ප්‍රශ්නයට වගකිව යුතු මුල්‍ය ආයතන ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම පිලිබඳ ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තාවන්ගේ ජාතික එකතුව ලෙස අප දැඩි අප්‍රසාදය සහ විරෝධය ප්‍රකාශ කොට සිටින්නෙමු.

කාන්තාවන්ගේ ජීවනෝපායන් සහ ශ්‍රමය පිලිබඳ ගැටළු වලට විධිමත් විසඳුම් ලබා දීම ජාතික ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස සැලකීම පසෙකලා කාන්තාවන්ගේ ආර්ථික ප්‍රශ්න ලාභ ලැබිය හැකි ව්‍යායාපාරයක් බවට පත්කරගැනීමට මුල්‍ය ආයතන වලට ඉඩ ලබා දෙමින් දිගින් දිගටම ආණ්ඩු ගෙන ගිය ප්‍රතිපත්ති අසමර්ථ වීම ගෙවාගත නොහැකි ණය ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ලාභී කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් වල කරපිට පෙරලා ඇති බව අපි දිගින් දිගටම පෙන්වා දෙමින් සිටිමු.

2017 වර්ෂයේ සිට දශක භාගයක කාලයක් තිස්සේ අධික ණය බර සහ අපගේ ජීවනෝපායන් අතර ඇති සම්බන්ධය මෙන්ම ණය සම්බන්ධ සියදිවි නසාගැනීම්, භුක්තිය අහිමි කිරීම, අවතැන් වීම, ගෘහස්ථ හිංසනය, සහ පවුල් ආරවුල් පිලිබඳ ආණ්ඩුව, මහ බැංකුව, මුදල් අමාත්යංශය සහ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන නායකයින් මෙන්ම පොදු සමාජය දැනුවත් කිරීම දිගින් දිගටම කරගෙන යන්නෙමු.

එනමුත් ආණ්ඩුවේ දේශපාලන නායකයින් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් අන්ධයින් සහ බීරන් ලෙස විශ්වාස කරන්නේ අලුත් ණය ක්‍රරම පවතින ණය අර්බුදයට විසඳුම බවයි.

ණය ලබා දෙමින් කෙරෙන ව්‍යවසායකත්වය සහ ස්වයං රැකියා පිලිබඳ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිත කාන්තාවන් වන අපගේ ජීවන අත්දැකීම් හරහා කරන පැහැදිලි කිරීම නොවැදගත් ලෙස බැහැර කර ඇත. ආණ්ඩුව විශ්වාස කරන දීර්ඝ කාලීනව අසමත් සංවර්ධන මාර්ගයක් වන ව්‍යවසායකත්වය සහ ස්වයං රැකියා සඳහා ණය ලබා ගනිමින් කබලෙන් ලිපට වැටීමට අපි තවදුරටත් සුදානම් නොමැති බව ප්‍රකාශ කර සිටින්නෙමු.

වර්තමානයේ රටතුල වර්ධනය වී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම් සමග ජීවන වියදම ඉහල යාමත්, ආදායම් උපයන මාර්ග සීමා වීමත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල ගැටලු ගනනාවක් මතුවීමත් නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා දැමීමට තිබු අවම අවස්ථාවන් පවා වින්දිත කාන්තාවන්ට ඇහිරී ඇත.

මතුව ඇති ගැටලු

1. ණය එකතු කිරීම ජනතාව අනතුරේ දමයි

අ) ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැනුම්කරුවන් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ අවිධිමත් වෙළඳපොළ තුළ තම ජීවනෝපාය සොයා ගන්නා බැවින් අනිවාර්ය ආදායම් සහ විශ්‍රාම ප්‍රතිලාභ නොමැති බැවින් කාලගුණ විපර්යාස, ආර්ථික අස්ථාවරත්වය, රෝග සහ හදිසි අනතුරු වලට සැමවිටම ගොදුරු වේ. ජීවනෝපාය කඩාවැටීම නිසා පැරණි ණය ගෙවීමේ වගකීම් ඉටු කිරීමට නොහැකිව අවදානම්සහගත ණයවලට එළඹෙන්නට ජනතාවට බල කෙරෙන අයුරු සඳහා බොහෝ උදාහරණ කොවිඞ්-19 වසංගතය විසින් පෙන්වා දී ඇත.

ආ) ණය ගෙවීමේ ක්‍රියාදාමය තුළ තමන්ගේ ඉතිරිකිරීම්, ගෘහ උපකරණ, රත්රන් සහ දේපළ අහිමි වීමේ සිද්ධීන් පිළිබඳව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ණයගැනුම්කරුවන් විසින් වාර්තා කරමින් ඇත.

ඇ) විශේෂයෙන් ආහාර, අධ්යාපනය සහ සොඛ්‍යයට අදාළ අනෙකුත් ගෘහස්ථ වියහියදම් වලට වඩා ණය ගෙවීමට ප්‍රමුඛතාවය දීම හේතුවෙන් ගෘහය තුළ ගැටුම් ඇති වන අතර කාන්තාවන් නිරන්තරයෙන්ම ගෘහස්ථ හිංසනයට ලක් වේ.

ඈ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි 2018 වසරේදී සිය වාර්තාවේ පෙන්වා දුන්නේ ශ්රී ලාංකිකයන් මිලියන 2.8ක් ක්ෂුද්ර මූල්ය ණය උගුලක පැටලී සිටින අතර ඉන් මිලියන 2.4ක් කාන්තාවන් වන බවයි.

ඉ) වසර ගණනාවක් පුරා මාධ්‍ය වාර්තා සහ පොලිස් වාර්තාවල ඇති ජාතික සියදිවි නසාගැනීම් සංඛ්යාලේඛනවල ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්බන්ධ සියදිවි නසාගැනීම් 200කට අධික සංඛ්යාවක් වාර්තා කර ඇත.

2. නීතිමය පියවර

අ) මූල්ය සමාගම් සහ ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් ණයගැනුම්කරුවන්ට නොගෙවිය හැකි ණය ගෙවීමට බල කිරීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමට කටයුතු කරනු ලබයි.

ආ) නීතිමය පියවර ගැනීමේ තර්ජනය මූල්ය සමාගම් විසින් ණය ගෙවීමට බල කිරීම සඳහා යොදා ගැනේ. මිනිසුන් ණය ආපසු නොගෙවන්නේ නම් කොළඹ අධිකරණ තුළ නඩු පවරන බවට සමහර සමාගම් තර්ජනය කරයි.

ඇ) ණයගැනුම්කරුවන් බොහෝ දෙනෙකුට නීතීඥ ගාස්තු දරා ගත නොහැකි අතර සමහරෙකුට දුර ගෙවාගෙන යාමට නොහැකි බැවින් සාධාරණ නඩු විභාගයකින් තොරව, ක්ෂුද්‍ර මුල්‍ය ට ගොදුරු වූ වින්දිතයින්ට නෛතික නියෝජනයක් නොමැතිව ඒකපාර්ශවිකව නඩු තීන්දු කෙරේ.

3. මූල්ය අයිතිය සදාකාලිකව අහෝසි කිරීම

අ) ණය ගෙවාගත නොහැකි ණයගැනුම්කරුවන්ව විධිමත් ණය ප්‍රභවයන්ගෙන් ණය ලබා ගත හැකි ලැයිස්තු වලින් ඉවත් කෙරේ (CRIB/ ලංකා ණය තොරතුරු කාර්යාංශයෙහි දක්වා ඇති).

ආ) ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ ලැයිස්තුගත කර ඇති ක්ෂුද්‍ර මුල්‍ය ණයගැනුම්කරුවන්ගෙන් වැඩි ප්රමාණයක් කොවිඞ්-19 මූල්‍ය සහනවලට අදාළව ලබා දෙන සහන ණය වලින් බැහැර කර ඇත.

ඇ) විධිමත් අංශයේ සුරක්ෂිත සහ සහනදායී මූල්‍ය සේවාවලින් බැහැර කර ඇති ක්ෂුද්‍ර මුල්‍ය වින්දිතයින් අවිධිමත් මූල්ය වෙළෙඳපොළ තුළ ඇති අවදානම්සහගත සහ භයානක ණය ලබාදීමේ ක්‍රම වලට නිරාවරණය වේ.

4. ණය ගෙවීමට ඇති පීඩනය විසින් ණයගැනුම්කරුවන් සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට තල්ලු කර තිබේ

අ) බොහෝ ගම්මානවල, ආදායම් උත්පාදන යාන්ත්‍රරණයක් නොමැතිකම විසින් ස්ත්‍රීන්ව ගණිකා වෘත්තියට තල්ලු කරනු ලැබේ.
ආ) දරුවන්ගේ අධ්යාපනය හා පවුලේ සෞඛ්ය සම්පන්න ජීවන රටාවට ණය බර අහිතකර ලෙස බලපා ඇති අතර ස්ත්‍රීන් විසින් මාසික ආදායම ණය ගෙවීමට යොදා ගැනීම හේතු කොට ගෙන ගෘහය තුළ සාමය පවා අහිමි වී ඇත.

මීට වසරකට පෙර හිඟුරක්ගොඩ සත්‍යග්‍රහය හරහා අපි ප්‍රකාශ කර සිටියේ මර(ණය) වෙනුවට අපි ජීවිතය තෝරන බවයි.

අසාධාරණ ණය ආපසු නොගෙවීමටත් නැවත ගිනි පොළී මුල්‍ය ආයතන වලින් ණය නොගැනීමටත් අපි තීරණය කොට ඇත්තෙමු.

ලංකාව පුරා සිටින ලක්ෂ 28කට අධික ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන්ට අපි පවසන්නේ ගිනි පොළී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ප්‍රතික්ෂේප කරන ලෙසටයි. සංවිධානාත්මකව විකල්ප සංවර්ධන වැඩපිලිවෙලක් යටතේ අපි ගොඩනගමින් සිටින ක්‍රියාකාරිත්වය සමඟ සංවිධානය වීමට අපි ඔබට ආරාධනා කර සිටිමු.

ආණ්ඩුවට සහ අපගේ චන්දයෙන් බලයට පත්වූ දේශපාලඥයින්ට අපි ප්‍රකාශ කර සිටින්නේ දැන්වත් ඇස් කන් ඇර ජනතාවට වගකියන ආර්ථික සංවර්ධන වැඩපිලිවෙලක් වෙනුවෙන් දායකත්වය සපයන ලෙසටයි.

අරගලයට ජය!

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව

හිඟුරක්ගොඩ.

Similar Posts