අතීතයේ සිදුකල වෙලදාම් අතරින් ඉතාමත්ම මිලේච්ඡ වෙළදාම ලෙසට අත්ලාන්තික් වහල් වෙළදාම හැඳින්විය හැක.

එකී වෙළදාම හේතුවෙන් අප්‍රිකානුවන් මිලියන ගණනකට සිය නිජභූමිය අහිමි විය.කුරිරු වදහිංසා වලට ලක්කරමින් අමෙරිකානුවන් අහිංසක කළු ජාතිකයන්ගෙන් සේවය ලබාගත් අතර මෙසේ අප්‍රිකාවේ සිට වහලුන් ලෙසින් නැව් ගත කර ඇමෙරිකාවට ගෙනගොස් විකිණීම සිදුකල මුහුදු ගමන හැඳින්වුයේ “මධ්‍යම ගමන් මග” හෙවත් Middle Passageයනුවෙනි.

එම නැව් ගමන් අතිශය භයංකර,මාරාන්තික මෙන්ම අනුකම්පා විරහිත අත්දැකීම් ලබාදෙන ගමන් විය.එසේ කළු ජාතිකයන් සිරගත කරසිටි වහල් නැව්වල තත්ත්වය අපිරිසිදු බවින් පිරුණු,භය උපදවන ස්ථාන වූවා පමණක් නොව වහල් බවට පත්කර සිටි කිසිදු කළු ජාතිකයන්ගේ මුලික පහසුකම් ලබාදීම සඳහා කිසිවකු අල්ප මාත්‍රයක පමණකින් හෝ කිසිදු උත්සහයක් ගත්තේ නැත.

මේ එවන් කුරිරු වධහිංසා වලට ලක්කරමින් අප්‍රිකාවේ සිට ඇමෙරිකාවට වහලුන් ලෙසින් මිනිසුන් ප්‍රවාහනය කල නැවක් අභ්‍යන්තරයේ සිදුවූ සංවේදී කතා පුවතයි.

අප්‍රිකානු ජාතිකයන් මෙහෙයුම් කොට වහලුන් ලෙසින් අල්ලා ගැනීම හෝ අප්‍රිකානු වහල් වෙළදුන්ගෙන් ඔවුන් මිලදී ගැනීම ….

අප්‍රිකානු වහල් වෙළදාම ඇත්ත වශයෙන්ම යුරෝපීය වහල් වෙළදාම ආරම්භ වීමට බොහෝ කලකට පෙර අප්‍රිකානු සමාජයේ පැවති නමුත් වහලුන් වර්ග කිරීමේ පැහැදිලි වෙනසක් තිබුණි.

එහිදී වෙනත් රටවලට මුදල් හෝ වෙනත් වටිනා වස්තුන් වෙනුවෙන් හුවමාරු කරගත් වහලුන් අතර සිටිනු ලැබුවේ ණය ගෙවීම් පැහැර හැරී පුද්ගලයන්,යුද සිරකරුවන් හෝ දේශපාලන සිරකරුවන් පමණකි.

ඉස්ලාමීය වෙළෙදුන්ගේ ආගමනයත් සමගම වහලුන් ප්‍රවාහනය මුලදී මධ්‍යධරණී වෙතටත් ඉන් අනතුරුව ඇමෙරිකාවටත් යුරෝපීය වෙළෙඳුන් විසින් ආරම්භ කරන ලද අතර පළමුව යුරෝපීයයන් අප්‍රිකාව වෙත පැමිණි අවස්ථාවේ දී උත්සහ කර ඇත්තේ ඔවුන් විසින්ම මෙහෙයුම් ක්‍රියාත්මක කොට වහලුන් ලෙසින් මිනිසුන් අල්ලා ගැනීමටය.

එය අසාර්ථක වීම හේතුවෙන් කොංගෝව වැනි ප්‍රදේශ තුල පිහිටි අප්‍රිකානු වහල් වෙළෙඳුන්ගෙන් මිළදී ගැනීමට කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙස අප්‍රිකානු වහල් වෙළෙඳුන් කළු ජාතිකයන් විශාල පිරිස් අල්ලා යුරෝපයට විකිණීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බහුලව සිදුවිය.

අල්ලා ගත් පිරිස දම්වැල් යොදාගෙන ගැටගසා බෝට්ටු වෙත ගෙනයාම …..

අප්‍රිකාවේ සෑම තැනකින්ම පාහේ මෙසේ අල්ලාගත් කළු ජාතිකයන් අත්ලාන්තික් සාගරය හරහා ප්‍රවාහනය කිරීමේ අරමුණින් එක්රැස් කොට තබන ලද්දේ වරාය ආශ්‍රිත නගරයන් තුල වූ අතර අල්ලා ගත් ප්‍රදේශයේ සිට බොහෝ දුරක් ගෙවමින් මොවුන්ව ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ වෙරළ තීරයන් වෙත ගෙන එනු ලැබීමෙන් පසු වහලුන් ප්‍රවාහනය සඳහා යොදා ගැනුණු දුම්රියන් තුලදී එකිනෙකා එක් දම්වැලකින් බැඳීම සිදුකරන ලදී.
මෙහි දී දක්නට තිබු විශේෂත්වය වුයේ රටේ සියලුම පළාත්වලින් නොයෙකුත් භාෂාවන් භාවිතා කරනු ලබන,එසේම විවිධ සමාජ,සංස්කෘතික විවිධත්වයකින් යුත් පිරිස් එක් තැනකට රැස්වීම හේතුවෙන් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට පවා බාධා මතුවීමය.
එසේම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තම ජීවිත කාලය තුල සාගරයක් හෝ නැවක් කිසිදු දිනෙක දැක තිබුනේ ද නැත.

අල්ලා ගත් පිරිස් නැව් ගත කිරීම සහ යදමින් බැඳ නැවේ යට තට්ටුවේ රඳවා තැබීම ……

 

වරාය නගරයේ රඳවා සිටි කළු ජාතිකයන් ඉන් අනතුරුව නැව් වෙත දක්කා ඉන් අනතුරුව නැවේ යට තට්ටුවේ රඳවා තබන ලද අතර පෙර වහල් සේවයේ යොදා සිට පසුව ඉන් නිදහස ලබාගෙන වහල් සේවය තුරන් කිරීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කල අප්‍රිකානු ජාතික ඔලාඩා ඉක්වියානෝ (Olaudah Equiano ) තම අත්දැකීම් විස්තර කරමින් පොතක් එළිදක්වා ඇත.
එහිදී ඔහු අත්විඳි දුක් කම්කටොලු මෙන්ම අනෙකුත් පිරිස මුහුණ දුන් කෘරත්වය විස්තර කරමින් පවසා සිට ඇත්තේ වරක් ඔහු නැව් තට්ටුවේ සිටින විට තම සහෝදර කළු ජනතාවගේ මුහුණුවල යදමින් බැඳ කුරිරු අන්දමින් සැලකු ආකාරය මත බලාපොරොත්තු රහිත හැගීම් සහිතව සිටි අයුරු දැකගත හැකිවූ බවය.
බියජනක අත්දැකීම් හමුවේ කිහිප විටකදී සිහිමුර්ජාවට පත්වූ බවත්,දම්වැල් බන්ධනය මගින් බොහෝදෙනෙකුගේ සම මත තුවාල හටගත්තා පමණක් නොව සම තුලට කිඳා බැස තිබු දම්වැල් කොටස් ද දැකගත හැකි වූ බවත්,දම්වැල් වලින් විලංගු දමා තිබීම හේතුවෙන් චලනය වීම පවා අසීරු වූ බවත් ඔහු විස්තර කොට ඇත.බොහෝ අයවලුන් මිය යාම ද සිදුවී ඇත.

සිය දෙනෙකු පමණ රැගෙන යාමට නිර්මාණය කර තිබු නැව් මගින් 700 ක් පමණ ප්‍රවාහනය කිරීම …….

වහල් මිනිසුන් රැගෙන යාම සඳහා භාවිතා කල නැව් නිර්මාණය කර තිබී ඇත්තේ සියයක් පමණ පිරිසක් ප්‍රවාහනය කිරීමට නමුත් වැඩි ලාභයක් බලාපොරොත්තු වූ වහල් වෙළෙඳුන් එම නැව් වෙත ඇති විශාල පිරිසක් පැටවීමට කටයුතු කළහ.
එසේ අධික තදබදයකින් යුක්තව මිනිසුන් කුඩා ඉඩ ප්‍රමාණයක රැඳවු බැවින් ඔවුන්හට තම අත් පා පවා චලනය කිරීමට,නින්දක් ලබාගැනීමට හෝ වාඩිවී සිටීමට පවා අවශ්‍ය තරමේ ඉඩපාඩු නොතිබිණ.
මෙසේ අධික තදබදයක් පැවතීම හේතුවෙන් අසරණව සිටි මිනිසුන්හට තම ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට අවශ්‍ය බාල්දි පවා සැපයීම බලධාරීන් ප්‍රතික්ෂේප කල අතර ඒ හේතුවෙන් අසරණ සිරකරුවන්හට සිදුවුයේ තම මළ මුත්‍ර මතම වැතිර සිටීමටය.
වහල් මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන්ම සැලසුම් කරන ලද බ්‍රිතාන්‍ය නැවකි “බ්රුක්ස් ගේ නැව ” (The Brookes ship – 1781) යනුවෙන් හැඳින්වූ නැව.
එය සැලසුම් කර තිබී ඇත්තේ මිනිසුන් 451 ක් පමණක් ප්‍රවාහනය කිරීමට වූ නමුත් වැඩි ලාභ ලැබීමේ අරමුණින් සැබෑ ලෙසම ප්‍රවාහනය කල පිරිස 700 ක් විය.කෙසේ නමුත් 1788 නිකුත් කල ව්‍යවස්ථා පනත (Regulation Act of 1788) මගින් ප්‍රවාහනය කල හැකි සම්පුර්ණ පිරිස 450 ක් බවට පත්කළේය.

රෝගාබාධ ඇතිකිරීමට සමත් වූ පරිසරය මෙන්ම මළ,මුත්‍රා සහ වමනය හේතුවෙන් මහත් දුර්ගන්ධයක් නිකුත් කල නැවේ යට තට්ටු …

 

ඔලාඩා ඉක්වියානෝ (Olaudah Equiano ) තමා නැවේ යට තට්ටුවේ සිටි කාලයේ අත්දුටු දේ විස්තර කර ඇත්තේ මෙසේය.
“ මා ඉතා ඉක්මනින්ම නැවේ යට තට්ටුව වෙතට දැමුවා.එහිදී මාගේ නාස්පුඩු වලට ජීවිතයේ කිසිදිනෙක අත්විඳ නොමැති දුර්ගන්ධ ආචාර කරනු ලැබුවා.
ඒ තරම් පිළිකුල් සහගත දුර්ගන්ධයක් මා කිසි දිනෙක අත්විඳ නැහැ.ඒ මදිවාට අසරණ මිනිසුන්ගේ වැළපීම දරාගැනීමට බැරි තරම්.ඇතිවූ අප්‍රියජනක තත්ත්වය මත මා හට ආහාර ගැනීමට පවා නොහැකි වුවා.
සමහර දිනවල කාලගුණික තත්ත්වය මත වහලුන් නැව් තට්ටුව මතට ගෙන ගොස් නහවනු ලැබුවා.පැවති කුරිරු පසුබිම තුල එකී කාලයකින් සිදුවන ස්නානයන් ගැලපුනේ නැති තරම්”.
තමන් අල්ලා ගත් මිනිසුන් අතර අකීකරු වහලුන් සිටියේ නම් ඔවුන් කෝටුමස් කිරීම,පහර දීම සහ හංවඩු ගැසීම සිදුකරනු ලැබීය …
දැඩි මුරණ්ඩු බවක් පෙන්වූ,ආහාර ගැනීම ප්‍රතික්ෂේප කල,පැනයාමට උත්සහ කල සහ නැවේ කාර්ය මණ්ඩලයට ඇහුම්කන් නොදුන් පිරිසට සිදුවුයේ දැඩි දඩුවම් වලට මුහුණ පෑමටය.
එය විස්තර කල ඔලාඩා සිය අත්දැකීම් විස්තර කරමින් පවසා ඇත්තේ තමන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කල විට පුද්ගලයන් දෙදෙනෙකු ඔහු කරා පැමිණ එක අයෙක් ඔහුගේ ශරීරය මත හිඳගෙන දැඩිව පොලොව මත තෙරපාගෙන සහ පාද ගැටගසා සිටින විට (එහිදී ඔහුට හුස්ම ගැනීමට පවා අසීරු වී ඇත) අනෙකා ඔහුට කුරිරු අන්දමින් පහර දුන් බවය.
එසේම තවත් මුලාශ්‍ර පෙන්වා දෙනු ලබන්නේ අකීකරු වහලුන් මෙල්ල කර ගැනීම සඳහා හංවඩු ගැසීම මෙන්ම වදහිංසා කිරීම සඳහා නොයෙකුත් උපකරණ භාවිතා කර ඇති බවය.කැරලි ගැසීමට සුදානම් වන වහල් මිනිසුන්හට ඉතා චණ්ඩ වදහිංසා වලට මුහුණ පෑමට සිදුවී ඇත.කෙසේ නමුත් නැවේ කාර්ය මණ්ඩලයට එරෙහිව නැගී සිටින්නන්හට උරුම වුයේ තුවක්කු උණ්ඩයකට බිලි වීමටය.එසේ නොමැතිනම් දරුණු ලේ වැගිරීමකට මුහුණ පෑමටය.
කාලගුණය අයහපත් වූ විට අත්අඩංගුවේ පසුවන්නන් හට දැඩි උණුසුම් සහ දුර්ගන්ධයෙන් යුතු නැවේ යට තට්ටුවේ දුක් විඳීමට සිදුවීම
අත්අඩංගුවේ පසුවන්නන්හට නැවේ මතුපිට යාමට අවසර ලබා දී ඇත්තේ කාලගුණය යහපත් තත්ත්වයේ තිබුණි නම් පමණකි.අන් සෑම අවස්ථාවකම ඔවුන්හට සිදුවුයේ නරකාදියක් බදු නැවේ යට තට්ටුවේ ගල් ගැසී සිටීමටය.
කුඩා ඉඩක මෙසේ මිනිසුන් සියගණනක් එකට ගැටගසා චලනය වීමට පවා ඉඩක් නොමැතිව,විෂබීජ සහිත පරිසරයක නිසොල්මනේ වැතිර සිටීමට සිදුවීම මාරාන්තික අත්දැකීමක් බව ඔලාඩා පවසා සිටියි.ඉතා ලංව සිටීම,කාලගුණයේ දැඩි උණුසුම් බව,පිරිසේ වැඩිකම ආදී හේතුන් මත විටෙක හුස්ම ගැනීමට පවා අපහසු වූ බවත්,ආස්වාශ ප්‍රාස්වාශ කිරීමට දැඩි උත්සහයක් ගැනීමට සිදුවූ බවත් ඔහු තවදුරටත් පවසයි.
මෙවන් තත්ත්වයක් තුල අධික දහදිය දැමීම හේතුවෙන් සහ ආග්‍රහණය කිරීමට අපහසු දැඩි දුර්ගන්ධයක් පැවතීම හේතුවෙන් ස්වශන කටයුතු සිදුකිරීමට අපහසු වුවා පමණක් නොව නොයෙකුත් රෝගාබාධ හටගෙන ඉන් බොහෝ පිරිසක් මිය ගිය බවද ඔහු සිහිපත් කර සිටි.

සති අටක ගමනේ දී බොහෝ පිරිසකට මරණය අත්කර දුන් රක්තාතීසාරය (Dysentery) ……

 

වහලුන් ප්‍රවාහනය කරනු ලැබූ නැව්වල තිබු ඛේදජනක තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙසට රෝග පැතිරී යාම සුලභ කරුණක් විය.එසේ පැතිර ගිය රෝග තත්ත්වයන් ලෙස පාචනය,රක්තපාතය හැඳින්විය හැක.එකල වහල් වෙළදාමේ නියුතු ජෝන් නිව්ටන් (John Newton) විස්තර කර ඇත්තේ මෙකී රක්තපාතය හමුවේ බොහෝ පිරිසක් මිය ගිය බවය.
වහල් නැවක සේවය කර ඇති ශල්‍යවෛද්‍යවරයෙකු මේ පිළිබඳව විස්තර කරමින් පවසා ඇත්තේ “නැව් තට්ටුව එසේත් නොමැතිනම් ඔවුන්ගේ කාමරවල පොලොව සම්පුර්ණයෙන්ම පාහේ රක්තාතීසාරය හේතුවෙන් ආවරණය වී තිබුනේ රුධිරයෙන් සහ සෙම්සොටු ආදියෙන්.
ඇත්තෙන්ම එය සතුන් මරණ ඝාතකාගාරයකට සමානව දිස් උනා” යනුවෙනි.ඊට අමතරව එම නැව් තුල ශීතාද රෝගය,ප්‍රතිශ්‍යා රෝග,සරම්ප,වසුරිය සහ මැලේරියා යන රෝග බහුලව පැවතින.මෙවන් රෝග තත්ත්වයන් හමුවේ සෑම ගමන් වාරයකදීම වහල් නැව්වල මරණ ප්‍රතිශතය 15 % දක්වා ඉහල අගයක් ගනු ලැබීය.

නැව් තට්ටුව මතින් මුහුදට පැනීම අවහිර කිරීමට සකස් කර තිබු සියදිවි නසා ගැනීමේ දැල් …..

 

අවස්ථාවක් ලද සෑම විටකම වහල් බවට පමුණුවන ලද මිනිසුන් සිය දිවි හානි කරගැනීමට උත්සාහ කළහ.මෙය බලාපොරොත්තු සුන් බව හෝ විරෝධය පෑම හෝ මෙම හේතු දෙකම විය හැකි බවට විශ්වාශ කරනු ලබයි.
ජෝන් නිව්ටන් යනු වහල් වෙළදාමේ නියුතු ඉංග්‍රීසි ජාතිකයෙකු වූ අතර ඔහු නැවත ගණන් කරන අවස්ථාවලදී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන සහ වස පානය කිරීමට උත්සාහ කල මිනිසුන් ඔහුට දැකගත හැකිවිය.එසේම තවත් පිරිස් මුහුදට පැනීමට උත්සාහ කළහ.
මෙසේ පනින පිරිස දිනෙන් දින ඉහල යාමත් සමගම පාලකයන් එය වැළැක්වීමට උපක්‍රමයක් ලෙස නැවට පිටින් දැලක් සවිකරනු ලැබූ අතර එය සිදුකලේ අසරණ මිනිසුන්ගේ ජීවිත විනාශ වීම පිළිබඳව අනුකම්පාවකින් නොව ඔවුන්ගේ ලාභය අඩුවීමට මිනිසුන් සියදිවි හානිකර ගැනීම හේතුවක් වන නිසාය.
යමෙක් නැවෙන් පිටතට පැන්න විටකදී ඔහු හෝ ඇය ඉහත කී දැලේ රැඳෙන අතර ඉන් ඔවුන්ගේ ජීවිත බේරීම සිදුවෙයි.යමෙකු මෙම දැලෙන් මිදී මුහුදට පැනීමට කටයුතු කලේ නම් නැවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් බෝට්ටු මගින් ගොස් ඔවුන්ව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට කටයුතු කලෝය.
නැව් තුල කාන්තාවන්හට මුහුණ පෑමට සිදුවූ දරුණු වදහිංසා …….
අල්ලා ගත් බහුතරයක් පිරිමි පුද්ගලයන් වූ අතර ඔවුන් කම්කරු වෘත්තීන් වල යෙදීම පහසු බැවින් එසේ වැඩි පිරිසක් පිරිමි පුද්ගලයන් අල්ලා ගැනීමට කටයුතු කලත් ගැහැනුන් ද එසේ අල්ලාගත් පිරිස අතර විය.එසේ අල්ලාගත් කාන්තාවන් සහ පිරිමින් නැව තුලදී වෙනකොට ස්ථානගත කෙරින.
සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයන් මෙන් කාන්තාවන් සහ තරුණ ගැහැණු ළමුන් දම්වැල් වලින් බැද තැබීමක සිදු නොකළ අතර සමහරක් නැව් තුල සිටි කපිතාන්වරු මෙසේ කාන්තාවන් සිටි ස්ථානයට ඉහලින් එල්ලෙන ඇඳක (hammock ) නිදා ගැනීමට පුරුදුව සිටියහ.
නමුත් ඔවුන්ගේ ඇසට වැලි ගසමින් නැවේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් අසරණ කතුන් සහ ගැහැණු දරුවන් වෙතින් තම ලිංගික අවශ්‍යතාවන සපුරා ගැනීම සඳහා ඔවුන්හට ලිංගික අඩන්තේට්ටම් සිදු කළහ.
පෙර සඳහන් කල වහල් වෙළෙන්දකු වූ ජෝන් නිව්ටන් පවසා ඇත්තේ තම කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වරෙක සිය නැව තුලදී ගැබ්බර කාන්තාවකට ප්‍රහාරයක් සිදුකල බවය.එසේම තවත් විටකදී ඔහු යටතේ සේවය කල තැනැත්තෙකු විසින් නැව් තට්ටුවේ සිටි පිරිසෙන් හතරෙන් එකකට පෙනෙනසේ කළු ජාතික කාන්තාවක් බිම පෙරලා ඇය මත හිඳ මෘගයෙකුසේ දුෂණය කරනු දැක එම තැනැත්තා සිරගත කිරීමට ද තමා කටයුතු කල බවත්,මෙය නැවේ සේවය කල අනෙකුත් කාර්ය මණ්ඩලයේ දැඩි අවධානය දිනාගත් බවත්,එම දඩුවම මගින් අනෙකුත් පුද්ගලයන් කදිම පාඩමක් ඉගෙනගන්නට ඇතැයි තමන් විශ්වාශ කරන බවත් ජෝන් තවදුරටත් පවසා තිබේ.
යමෙකු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරේ නම් බලෙන් ආහාර උගුරෙන් පහලට තල්ලු කිරීම …
වෙළදාමේ ලාභය ඉහලින්ම ලැබීමට නම් අත්අඩංගුවට ගත් මිනිසුන් ජීවත්ව සිටීම ඉතා වැදගත්ය.එබැවින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට නැවේ කාර්ය මණ්ඩලය සුදානම් ව සිටියහ.
විශේෂයෙන්ම ආහාර වර්ජනය කිරීමට ඉඩ නොතැබීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී.සාමාන්‍යයෙන් රඳවාගෙන සිටි පිරිසගේ කෑම වේලට පාන්,බෝංචි සහ ලුණු දමා සකස් කල මස් වැනි දෑ අඩංගු විය.
යමෙකු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළේ නම් ඔහුට හෝ ඇයට දැඩි දඬුවම් ලබාදෙනු ලැබුවේ අනෙකුත් පිරිසට තවදුරටත් ආහාර ප්‍රතික්ෂේප කිරීම පාලකයන් නොඉවසන බව පෙන්වීමටය.
ආහාර වර්ජනය කිරීම හේතුවෙන් යම් පුද්ගලයන් නොයෙකුත් පෝෂණ ඌනතා මත අවසානයේදී හුදෙක් ඇටසැකිලි මෙන් දිස්විණ.එහිදී එම පුද්ගලයා තවදුරටත් ජීවත් වීම ප්‍රතික්ෂේප කලාක් මෙන් කටයුතු කල බැවින් පාලකයන් ඒ සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කරන්නට විය.
කපිතාන් තිමති ටකර් (Timothy Tucker) යනු අතිශය ප්‍රචණ්ඩත්වය වහලුන් වෙත මුදාහල පුද්ගලයෙකි.ඔහුගේ ප්‍රචණ්ඩත්වය ඔහු සේවය කල නැවේ සිටි සේවකයන් සහ අත්අඩංගුවේ සිටි සියලුම දෙනා දැනගෙන සිටි අතර අශ්ව වලිගයක් තරමේ ඝනකමින් යුත් කසයක් පහර දීම සඳහා ඔහු භාවිතා කල බැවින් ඔහුගේ රුව දැකීමෙන් පවා වහා අවනතබවක් පෙන්වීය.
නැව් කාර්ය මණ්ඩලය විසින් ආහාර බලෙන් කැවීම සඳහා ආහාර වර්ජනය කල ඇයට බලපෑම් කරන ලද අතර එසේ තවදුරටත් ඔවුන්ට අවනත නොවන පුද්ගලයන්හට ආහාර උගුරට ඔබා තල්ලු කිරීමට අපුරු උපකරණයක් ද භාවිතා කළහ.
එය නමින් ස්පෙකියුලම (speculum oris) ලෙසට හැඳින්වූ දිග උල් අඩුවක් වැනි යාන්ත්‍රික උපකරණයකි.එහි උපකාරයෙන් ආහාර වර්ජනය කල තැනැත්තාගේ මුව විවර කොට දියර වර්ග හෝ පෝෂ්‍යදායී කැඳ වර්ග උගුර වෙත වත්කිරීම කරන ලදහ.

ගමනාන්තයට පැමිණි පසු අල්ලා ගත් පුද්ගලයන් වහල් වෙළඳ පොලට රැගෙන ගොස් ප්‍රදර්ශනයට තැබීම,බිය නැති කිරීම සහ විකිණීම …

 

කාලගුණික තත්ත්වය යහපත්ව පැවතියේ නම් සති 06 – 08 අතර කාලයක් ගතවන දුෂ්කර මුහුදු ගමන නිමා කරමින් ඇමෙරිකානු වරායන් වෙත සේන්දු වන වහල් නැව් තුල සිටින අල්ලා ගත් පිරිස මීලගට ගෙනයනු ලබන්නේ ගොඩබිම වෙතටය.
බොහෝ අප්‍රිකානුවන් ඔවුන් මීළගට ඔවුන්හට සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි බව ඔලාඩා පවසා ඇත.අප ඉදිරිපිට සිටි අසුන්දර මිනිසුන් අපව කෑමට ගනු ඇතැයි සිතු බවත්,නැවතත් අපව රැයේ දී නැව් යට තට්ටුවට ගාල් කරන බවත්,එහිදී අප සියලු දෙනා මහත් භීතියටත්,සංත්‍රාසයටත් පත්වන බවත්,බොහෝ අයගේ හැඩීම්,සුසුම්ලෑම් මගින් ඔවුන්හට යම් බියකරු සිදුවීමකට මුහුණ පෑමට සිදුවන බවට වූ ඉගි මින් ලැබෙන බවත් ඔහු තවදුරටත් පවසා සිටි.
අවසානයේදී සුදු ජාතිකයන් ඔවුන් මීට පෙර අල්ලාගත්,මේ වනවිට වහල් සේවයට යොදවා සිටි පැරණි සාමාජිකයන් ලවා අලුතින් පැමිණි අයවලුන් සැනසීමට යොදවන අතර ඉන් ඔවුන්ගේ මීලග පියවර සදහා පහසුවක් ලබාගැනීම එහි අරමුණ විය.ඒ අනුව පැරණි සාමාජිකයන් විසින් නැව සාමාජිකයන් හට වටහා දෙනු ලබන්නේ ඔවුන් ගෙන එනු ලැබුවේ වැඩ කරවා ගැනීමට මිස මරා කෑමට නොවන බවය.
ඉන් අනතුරුව නැව සාමාජිකයන් වැඩ බිම් වෙත යවනු ලබන අතර එහිදී ඔවුන්හට තම මව්රටේ බොහෝ පිරිස් මුණගැසීමට ඉඩ ලැබිණ.මෙම හමුවීම නැව සාමාජිකයන්ගේ සිත් තුලට යම් සහනයක් අත්කර දීමට සමත් විය.විශ්වාශය වඩවන්නක් විය.අප්‍රිකාවේ නොයෙකුත් පැතිවලින් ගෙනෙනු ලැබූ,නොයෙකුත් භාෂාවන් භාවිතා කරනු ලැබූ පිරිස් එක් යායකදී එකිනෙකා හමුවුහ.
හැගීම් සහ අත්දැකීම් බෙදා ගත්හ. ඔලාඩා තවදුරටත් සිය අත්දැකීම් විස්තර කරමින් පවසා සිට ඇත්තේ “අවසානයේදී අපව වහල් වෙළෙන්දා වෙත රැගෙන ගොස් ඔහුගේ පාලනයට නතු කරගන්නා අතරම එක් තැනකට ගාල් කරනු ලබන්නේ හරියටම කිසිදු වයස් මට්ටමක් හෝ ස්ත්‍රී පුරුෂභාවයක් නොසලකා බැටළුවන් රංචුවක් ගාල් කරන්නාක් මෙනි” යනුවෙනි.
මෙසේ අත්ලාන්තික් සාගරය හරහා ඇමෙරිකාව වෙත සිදුකෙරුණු වහල් වෙළදාම තුලදී 16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා ප්‍රවාහනය කෙරුණු අප්‍රිකානුවන් ගණන මිලියන 10 සිට 12 ක අගයක් ගෙන ඇති බව බ්‍රිටනිකා වෙබ් අඩවිය සදහන් කර සිටින අතර වෙළඳ ත්‍රිකෝණයක් දැකගත හැකිවූ බවත්,ඒ අනුව ආයුධ,රෙදිපිළි සහ වයින් වැනි භාණ්ඩ යුරෝපයේ සිට අප්‍රිකාවටත්,අප්‍රිකාවේ සිට ඇමෙරිකාව වෙත වහලුන් ද,ඇමෙරිකාවේ සිට යුරෝපය වෙත සීනි සහ කෝපි ප්‍රවාහනයත් සිදු කල බව එහි සඳහන්ය.
ඇමෙරිකානු වහල් වෙළදාමේ අවසානය ….
වරින් වර මෙම නීතිවිරෝධී වහල් වෙළදාම නතර කිරීම සඳහා විවිධ කාලවලදී,විවිධ පුද්ගලයන් විසින් උත්සාහ දරා ඇති අතර මෙයට විරුද්ධව සංවිධාන පවා බිහිවී ඇත.
කෙසේ වෙතත් වහල් වෙළෙන්දෙකුගේ දියණියක් විවාහ කරගත් කීර්තිමත් දේශපාලඥයෙකු වූ සහ පසුව ඇමෙරිකාවේ ජනාධිපති පදවියට පත් ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) 1862 සැප්තැම්බර් 22 දින නිකුත් කල නමුත් නිළ වශයෙන් 1863 ජනවාරි 01 වන දින ප්‍රකාශයට පත්කළ මූලික විමුක්ති ප්‍රකාශනය (preliminary emancipation proclamation) මගින් වහල් මෙහෙය නවතා දැමීමටත්,වහල් සේවයේ යෙදී සිටි පිරිසට නිදහස් ලබා දීමටත් කටයුතු කළේය.
මුලාශ්‍ර : – ද රෑන්කර්,බ්‍රිටනිකා,විකිපීඩියා,ද හිස්ටරි යන වෙබ් අඩවි වෙතිනි
පරිවර්තනය කොට සකස් කලේ : – M.G.චිත්‍රානන්ද

Similar Posts