එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජයෙන් පසු යළිත් වරක් අපරිණත ළදරු දේශපාලනය අරඹා තිබේ. අද ඔවුන්ගේ සාකච්ඡාව වී ඇත්තේ නායකත්වය තනතුරු වෙනස් කිරීමය. මැතිවරණ පරාජයකින් මානසිකවත් ශාරීරිකවත් හෙම්බත් වී සිටින පාක්ෂිකයාට ධෛර්යය සපයනු වෙනුවට ඔවුනට ශක්තියක් වනු වෙනුවට ඔවුන්වද අතරමං කරමින් පක්ෂයේ අර්බුදයන් ඕනෑ කමින් ඇති කරගනිමින් සිටියි. එක්සත් ජාතික පක්ෂයේ කුමන අර්බුදයක් ඇති වුවත් අපට ගැටළුවක් නැතත් අපට ඇති ගැටළුව වන්නේ ඉන් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට සිදු වන බලපෑම සම්බන්ධවයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යම් අධීකාරිවාදී සිංහල ජාතිය මුල්කරගත් පාලනයක් බිහි වී ඇති වටපිටාවක ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ දෙදරීම් විශාල විනාශයකට මග පෑදීමට ඉඩ ඇත.

මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය අද වන තෙක් පක්ෂයක් වශයෙන් කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා නැත. තමන්ගේ පාක්ෂිකයන් ගැන සිතන එමෙන්ම ශිෂ්ට සම්පන්න දේශපාලන පක්ෂයක් ලෙස කළ යුතු වන්නේ වහාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා පරාජය පිළිගෙන, පරාජයට හේතු වූ කාරණා ජනතාවට ඉදිරිපත් කිරීම හා ඉදිරියේදී දේශපාලන කටයුතු පිළිබඳ පාක්ෂිකයන් දැනුම්වත් කොට ඔවුන්ට යම් දේශපාලන ධෛර්යයක් සැපයීමයි. ඒ වෙනුවට මේ මොහොතේ සිදු වෙමින් යන්නේ මීඩියා පොරවල් වී එකිනෙකා තනියෙන් ලකුණු දා ගැනීමේ ක්‍රියාවලියකි. අගමැතිවරයාටත් නොකියා ඇමතිධූර වලින් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් කීප දෙනෙක් ඉල්ලා අස් වීමෙන් මෙය ඇරඹුනි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ඇමතිධූරයෙන් ඉල්ලා අස් නොවීමද විශේෂත්වයක් ගනී.

ඉන් පසු තැන් තැන් වල සජිත් ප්‍රේමදාස මහතාගේ ළගින්ම සිටි ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අගමැතිවරයාට හා පක්ෂයේ නිලතල දරන්නන්ට පරාජයේ වගකීම් පැවරීමක් යම් යම් චෝදනා එල්ල කිරීමක් දැකිය හැකි විය. මේ තත්වය මගින් තවදුරටත් පාක්ෂීකයා අතරමං කරනු ලැබීය. මෙවන් මැතිවරණ පරාජයකදී මූලිකව සිදු කල යුත්තේ ඒකාබද්ධව සිටිමින් පොදු සතුරාට එරෙහිව ශක්තිමත් වීමයි. හාස්‍යයට කරුණ නම් මේ මීඩියා පොරවල් වෙමින් මාධ්‍යයට කරුණු දක්වන මන්ත්‍රීවරුන්ගේ ඡන්ද කොට්ඨාශයන් දැවැන්ත ලෙස පරාජයට පත් වීමයි. පක්ෂයේ ඇතැමුන් කියා ව්‍යංගව චෝදනා කරන මන්ත්‍රීන්ගේ ආසන බොහෝ සෙයින් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වී ඇත්තේ අඩු ගණනකි.

මේ පිළිබඳව එක් උදාහරණයක් ඉදිරිපත් කිරීමට කැමැතියි.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මහා වීරයෙක් වීමට උත්සහ දරමින් චෝදනා එල්ල කල නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාරගේ ඡන්ද කොට්ඨාශය බිංගිරියයි. එය සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 39%ක් වෙද්දී ඔහු ව්‍යංගයෙන් චෝදනා එල්ල කරන එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡන්ද කොට්ඨාශය වන කුලියාපිටියේ 42.5%ක් ලබා ගෙන ඇත. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙම ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද අති විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇත. ඒ සියල්ල පිටුපස සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහය. උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණේ රනිල් වික්‍රමසිංහගේ සහතිකය මත බව දේශපාලනය දන්නා සියලු දෙනා දනී.

එක්සත් ජාතික පක්ෂය මේ අර්බුදය දිගින් දිගටම පැවතුණහොත් පොදු ජන පෙරමුණට අතිවිශාල ජයග්‍රහණයක් ඉදිරි මහ මැතිවරණයේදී ලැබීම වැළැක්විය නොහැකිය. එම නිසා වහා සිදු කල යුතු වන්නේ නායකයන් වෙනස් කිරීම නොව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය සංවිධානය කර ගැනීමයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ළදරුවන් පාඩම් ඉගෛන ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගෙනි.

වර්ෂ 2001දී පොදු ජන එක්ස් පෙරමුණු ආණ්ඩුව පරාජය වූ පසු මහින්ද රාජපක්ෂ මහතා චන්ද්‍රිකා මැතිනියගෙන් නායකකම් ගන්න කැරළි ගැසුවේ නැත. ඔහු සිදු කළේ පාරට බැස ජනතාව සංවිධානය කිරීමයි. පාක්ෂීකයා ධෛර්මත් කිරීමයි. එදා 2001 බිහි වූ එ.ජා.ප ආණ්ඩුව වසරක් සැපිරීමටත් මත්තෙන් පාරේ විරෝධතා සංවිධානය කිරීමට ඔහු පටන් ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ඔහුව වැළ ගත්තේ ඒ නිසාය. ඔහු ජාතික නායකත්වයකට පාර කපා ගත්තේත් චන්ද්‍රිකා මැතිණියට අකමැත්තෙන් වුවත් ඔහුට අගමැතිදූරය දීමට සිදු වූවේත් ඔහු නිරන්තර මහජන ක්‍රියාකාරීත්වයක සිටි පුද්ගලයෙක් වූ නිසාය.

එක්සත් ජාතික පක්ෂයේ  සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සිදු කළ යුතු වන්නේ හිමින් හිමින් පක්ෂය සංවිධානය කර ගැනීමයි. පාක්ෂිකයා ධෛර්යමත් කර ගැනීමයි. අද දින මාධ්‍ය හමුවක් කැවමින් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ තිස්ස අත්තනායක මහතා යම් සාධනීය අදහස් දැක්වීමක් පක්ෂය එකතු කිරීම සම්බන්ධයෙන් සිදු කිරීම අගය කළ යුතුය. නමුත් සාම්ප්‍රදායික රනිල් විරෝධය ඔහුගේ කටින්ද එළියට පනිනු විටින් විට දැකිය හැකි විය. සජික් ප්‍රේමදාස මහතාද කල්පකනා කළ යුතු වන්නේ තමන්ට අපේක්ෂා කල පරිදි සිංහල ඡන්ද වලට මධ්‍යම පන්තියේ ඡන්ද වලට තරුණ ඡන්ද වලට බලපෑමක් සිදු කිරීමට නොහැකි වූ බවයි. ඔහුගේ ඡන්ද ලක්ෂ 51 සැකසීමට ඔහුගේ වටේ සිට කෑ ගසමින් ඔහුගෙන් ගොඩ යාමට බලා සිටින අසංවිධානාත්මක ළදරු දේශපාලකයන්ට වඩා කාර්යභාරයක් අගමැති රනිල් වික්‍රමසිංහ කල බවය.

එම නිසා දැන් නායකත්වය වෙනස් කිරීම් ආදී දේ පසෙකලා සජිත් ප්‍රේමදාස මහතා නායකයාද පාක්ෂිකයාද සමග පාරට බැසිය යුතුය. ගමක් ගමක් ගානේ ගොස් ජනතාව සංවිධානය කල යුතුය. ඉදිරි දේශපාලන අනතුරට මුහුණදිය හැක්කේ එවිටය. රනිල්ගේ කාලය කොහොමත් ස්වභාවිකවම අවසන් වීමට නියමිතය. ඒ වන විට සජිත් ප්‍රේමදාස ජනතාව අතරට ගොස් ජනතාව සමග සටන් කර තිබුණහොත් ඔහුට නිසැකවම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම රටේ නායකත්වයත් ලබා ගත හැකි වනු ඇත.

මේ සියලු කරුණු වලට පෙර එක්සත් ජාතික පක්ෂයේ මීඩියා පොරවල් වීමට දගලන මන්ත්‍රීන්ගේ ළදරු දේශපාලනය නැවැත්වීමට ඔහු කටයුතු කළ යුතුය. කිලී මහරාජාගේ බලපෑමත් එක්සත් ජාතික පක්ෂයට කර ඇත්තේ සුළු පටු හානියක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතාට හා ඇතැම් තෝරා ගත් ඇමතිවරුන්ට විරුද්ධව ඔවුන් ගෙන ගිය ප්‍රචාරයෙන් පහර වැදුණේ ආණ්ඩුවටය. එහි බලපෑම සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ පරාජයටද හේතු විය.

එම නිසා වහාම ළදරු දේශපාලනය නවත්වා යම් ප්‍රබුද්ධ දේශපාලනයකට එක්සත් ජාතික පක්ෂය අවතීර්ණ විය යුතුය. ඒ සදහා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ගත යුතුය. එසේ නොගතහොත් නැවතත් එක්සත් ජාතික පක්ෂය අතඅශයින් දුරුවල මට්ටමකට වැටෙන අතර එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති සිහිනයන්ද සිහිනයක් සේම ඉතිරි වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී කදවුරටද එක්සත් ජාතික පක්ෂයේ දුරුවල වීම බරපතල ලෙස දැනෙනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් ලෙස බිහි වී ඇති අධිකාරීවාදී සිංහල ජාතිය මුල් කරගත් පාලනයට එරෙහිව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී කවුරක් බිහි කර ගැනීම අත්‍යවශ්‍යය.

නීතිඥ දුලාන් දසනායක

Similar Posts