සූවස් ඇළ පෙන්නලා ගෑස් මිල වැඩි කරන්න යනවා

සූවස් ඇළේ නෞකාවක් හිරවීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට සිදුව ඇති බලපෑම, මෙරට ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය විසින් හේතුවක් කරගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,

“දැන් කතාවක් යනවා, ආණ්ඩුව කියනවා කියලා, මේ සූවස් ඇළේ නැවත් හිරවෙච්ච නිසා සමහර විට ගෑස් මිල වැඩිකරන්න වෙයි කියලා. මේක පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඕනේ. සූවස් ඇළ හරහා එවර් ගිවන් කියන මීටර් 400 ක් විතර දිග විශාල නැවක් හිරවෙලා තියෙනවා, දැන් දවස් 4 ක් තිස්සේ.

ඒ නිසා දෙපැත්තෙන්ම නැව් දැන් ට්‍රැෆික් බ්ලොක් එකක් තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා පැය ගාණකින්, එහෙමත් නැත්නම් දවස් ගාණකින් මේ නැව නැවතත් පාවෙන තත්ත්වයට ගෙනල්ලා ඒ මාර්ගය අවහිරතාවය අයින් කරගන්න පුළුවන් කියලා.

නැව් 200 ක් විතර හිරවෙලා තියෙනවා. දැන් අපේ දේශපාලඥයෝ මේක පටලවලා කියන්න හදනවා, අපේ ගෑස් මිල ඉහළ යන්න වෙයි, මේ නැව හිරවෙලා තියෙන නිසා කියලා. මේ දෙක අතරේ කිසිම සම්බන්ධතාවයක් නැහැ.

මොකද, අපි ගෑස් ගෙනෙන ප්‍රමාණය බැලුවොතින් සහ ලෝකයේ කොපමණ ගෑස් අපනයනය මේ සූවස් ඇළ හරහා එනවාද කියලා බැලුවොත් ඒක ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. කන්ටේනර් ට්‍රැෆික්වලින් සියයට 40 ක් පමණ සූවස් ඇළ හරහා එනවා. නමුත් ලෝකයේ සම්පූර්ණ වෙළෙඳාම ගත්තොත් සියයට 12 ක් පමණ ප්‍රමාණයක් කියලා තමයි විශ්ලේෂකයෝ පවසන්නේ.“

“දැන් මේ ගෑස් ප්‍රශ්නෙට හේතුව මොකක්ද? මම අහගෙන බන්දුල ඇමතිතුමා තියනවා, අවුරුදු ගාණකට ගෑස් මිල වැඩි කරලා නැහැ. ගෑස් කොම්පැනිකාරයෝ කියනවා කියලා, ඔවුන් බංකොලොත් වෙයි, ගෑස් මිල වැඩි කළේ නැත්තන් කියලා. මෙතන තියෙන මූලික ප්‍රශ්නේ තමයි දේශපාලඥයෝ මැදිහත් වෙන්න නරකයි, සාමාන්‍ය භාණ්ඩවල මිල ඉහළ පහළ දාන්න.

මේකට යම්කිසි විද්වත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. කාලයක් තිස්සේ ඉතාමත්ම ලොකු ලාභයක් මේ ගෑස් සමාගම් ලැබුවා. 2020 අප්‍රේල් මාසේ ගත්තොත් ගෑස් මිල බිංදුවකට ආසන්න මිලකට වැටුණා. මම අහගෙන ජනාධිපතිවරයා නැත්නම් අගමැතිවරයා කියනවා, ඇයි මොනවාටද ගෑස් කොම්පැනිවලට මිල ඉහළ දාන්න දෙන්නේ, ඔවුන්ට ලොකු ලාභයක් ලබා ගන්න හම්බු වුණානේ මේ ගිය මාස ගානේ කියලා. එතනත් දේශපානය වීමක් සිද්ධ වෙන්නේ.“

“ඇත්තවශයෙන්ම මම සන්තෝෂයි කියන්න, මම සභාපතිත්වය දරපු කමිටුවකින්, ඒකට මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික අධිකාරිය, කර්මාන්ත අමාත්‍යාංශය, මහ බැංකුව මේ සියලු දෙනාම එකතු වෙලා ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගමත් එක්ක වාඩි වෙලා මාස ගාණක් තිස්සේ මේකට මිල සූත්‍රයක් නිර්මාණය කළා.

ඒත් එක්කම තමයි එක්දහස් හත්සිය තිස්ගාණකට තිබ්බ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිල්න්ඩරය 1,493 කට මිල තීරණය වුණේ. එතකොට සාධාරණව දන්නවා ගෑස් මිල කීයද ලෝක වෙළෙඳපොළේ, ඒකට නැව් ගාස්තු කීයද, විනිමය අනුපාතය කීයද, ටර්මිනල් චාර්ජ් එක කීයද, පැකින් චාර්ජස් කීයද කියලා බලලා, විනිවිදභාවයකින් යුක්ත මිල සූත්‍රයක් හරහා මාස 02 කට සැරයක් මිල වෙනස් වෙන විදියට තමයි අපි හදලා තිබුණේ.

නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා දේශපාලන තීන්දුවක් ගත්තා මිල සූත්‍රවලින් අපිට වැඩක් නැහැ කියලා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි, ලෝක වෙළෙඳපොළේ මිල පල්ලෙහාට යන කොට ඒ වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ. මිල සූත්‍රයක් තිබුණා නම්, ඒක නීතිමය වශයෙන් ක්‍රියාත්මක කරලා තිබුණා නම්, මාස දෙකෙන් දෙකට මේක වෙනස් වෙන්න ඕනේ.

1,493 ට තියෙන ගෑස් සිල්න්ඩරේ අවම වශයෙන් රුපියල් තුන්හාරසීයකින්වත් අඩුවෙන්න තිබුණා ගිය කාලේ. නමුත් ඒක කළේ නැහැ. ඒක නොකර ඒ සම්පූර්ණ වාසිය අරගෙන දැන් කියනවා අපිට හැකියාවක් නැහැ, බංකොලොත් වෙනවා කියලා. දෙපැත්තෙම ඇත්තක් තියෙනවා.“

“ඒ නිසා ඒ ගෑස් කොම්පැනි කට්ටිය දැනගන්න ඕනේ, නීතිමය පසුබිමක් තියෙන්නත් ඕනේ, ඒ තීරණ ගන්න ඒ නියමිත දිනවලට. එතකොට අපි දන්නවා, මෙදාට ගෑස් මිල තීරණයක් තියෙනවා. ලෝක වෙළෙඳපොළේ ලොකු වාසියක් තියෙනවා, ඒක යම්කිසි විදියකට පාරිභෝගිකයාට ලැබෙනවා. එහෙමත් නැත්නම් අපිට ඒක අරමුදලකට දාන්න පුළුවන්.

ඔක්කොම දෙන්නේ නැත්නම්, මහජනයාට දෙන්නේ ලැබෙන වාසියෙන් බාගයයි නම්, ඉතුරු බාගේ අපි අරමුදලකට දානවා. එතකොට මිල ඉහළ යන කොට, ඒ ඉහළ යන මිලෙන් බාගයක්, සියයට 80 ක් හෝ 90 ක් රජය තීරණය කරන විදියට අරමුදලෙන් අරගෙන ජනතාවට ඒ වාසිය දෙන්න පුළුවන්. එහෙම නොකර සම්පූර්ණයෙන් දේශපාලනය කිරීමෙන් සිද්ධ වෙන්නේ, අඩුවෙන කොට වාසියක් නැහැ, වැඩිවෙන කොට කොම්පැනිකාරයෝ කියනවා දැන් අපිට මේ වැඩේ කරගන් නබැහැ කියලා.“

“අපේ රටේ මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් විතර අවුරුද්දකට එල් පී ගෑස් පාවිච්චි කරනවා. සාමාන්‍ය ගෘහස්ථවලින් සියයට 45 ක විතර පාවිච්චි කරන්නේ ගෑස් පමණයි. තවත් සියයට 40 ක් විතර ගෑසුයි දරයි පාවිච්චි කරනවා. ඉතුරු සියයට 15 දර තමයි පාවිච්චි කරන්නේ.

එහෙම බැලුවාම ගෑස් කියන එක සාමාන්‍යයෙන් මේ රටේ  ගෘහස්ථවලට මැද පංතියට, පහළ මැද පංතියට, ඉහළ මැද පංතියට මේ සියලු දෙනාටම අවශ්‍ය දෙයක්. ගම්බද ප්‍රදේශවල සහ අඩු ආදායම්ලාභී පවුල්වලට මෙකෙන් ලොකු දායකත්වයක් තියෙනවා.

ඒ නිසා මේක ඉතා වැදගත් භාණ්ඩයක්. මෙය හරියට නියාමනය කිරීම රජය සතු වගකීමක්. එය නොකිරීම නිසා තමයි මේ ගැටළුව මතුවෙලා තියෙන්නේ.“

“නමුත් අපි කියනවා, මේ සූවස් ඇළේ ප්‍රශ්නේ දාලා, කරුණාකරලා ගෑස් මිල වැඩිකරනවා කියලා, ඒකට හේතුව මේකයි කියලා නිකං විහිළු කතා නං කියන්න එන්න එපා. අපි තර්කානුකූලව පෙන්නන්නං මේ ප්‍රශ්නය සූවස් ඇළේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය තමන් විසින් දේශපාලන වශයෙන් නිර්මාණය කර ගන්නා ලද  ප්‍රශ්නයක්.

සියයට 75ක් තියෙන්නේ ලිට්රෝ සමාගමට. සියයට 25 ක් තියෙන්නේ ලාෆ්ස් සමාගමට. අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුව මොකද කරන්නේ නියලා.“

Related posts