යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට

වලස්මුල්ල ජූලම්පිටිය මහා විද්‍යාලයේ ක්‍රිඩා ගුරුවරයෙකු  ජූලම්පිටිය ,කටුවන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව මිය ගිය බව මිද්දෙනිය පොලීසිය පවසයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලස්මුල්ල මහයායේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ අයෙකි.

ඉකුත් 10 වැනි දින රාත්‍රී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.මිය ගිය ගුරුවරයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත්තේ පෙරේදා (11) පෙරවරුවේදී බවද පොලීසිය පවසයි.

කටුවන දෙස  සිට වලස්මුල්ල මහයායේ පිහිටි නිවස බලා ගමන් කරමින් සිටියදී ක්‍රිඩා ගුරුවරයා මෙම අනතුරට ලක්ව තිබේ.කටුවන ජූලම්පිටිය දඹහිටිදොළ අනාරක්ෂිත තොටුපලේ තිබියදි මිය ගිය ගුරුවරයාගේ සිරුර පෙරේදා දහවල් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අනතුර වීමට පෙර මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයකද මෙම ගුරුවරයා ගැටී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.ඉන් අනතුරුව නැවත ගමන් ආරම්භ කොට ඇති මිය ගිය ගුරවරයා ඊට සුළු මොහොතට පසු මෙම මාරක අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදු වූ ස්ථානය ඉතා අනාරක්ෂිතව පාලකමක් පිහිටි ස්ථානයක් වන අතර දෙපස කිසිදු ආරක්ෂිත වැටක්ද නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනියය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

චන්ද්‍රසේන ගමගේ

Related posts